Sunday, October 27, 2024
Follow Us
විනිසුරු ගිහාන් පිළපිටිය අත්අඩංගුවට ගැනීමට උපදෙස්

වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වරෙන්තුවක් ලබා ගෙන අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කර තිබේ.

රන්ජන් රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකල මතභේදාත්මක දුරකථන සංවාද සම්බන්ධයෙන් ඉදිරිපත් වු සියලු සාක්ෂි හා කරුණු සළකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයා විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිළධාරීනි රජ‍යේ අධි නීතිඥ නිශාර ජයරත්න මෙනවිය සඳහන් කළේය.

ගිහාන් පිලපිටිය විනිසුරුවරයා අධිකරණමය නීතිමය කාර්යක් සඳහා සාවද්‍ය සාක්ෂි නිර්මාණය කිරීමට සැකකාර රන්ජන් රාමනයාක මන්ත්‍රිවරයා සමඟ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී ඇති බව නීතිපතිවරයා කොළඹ අපරාධ කොට්ඨාශයට දැනුම් දී තිබේ.

ඒ අනුව එම විනිසුරුවරයා සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන ප්‍රකාරව කටයුතු කිරීමෙන් පසු වරෙන්තුවක් ලබා ගැනීමට පියවර ගෙන නියමිත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ලෙසයි නීතිපතිවරයා දැනුම් දී ඇත.

මීට අමරතව හිටපු විනිසුරුවරුන් වන පද්මිණී රණවක, ගිහාන් පිලපිටිය සහ ධම්මික හේමපාල යන අය රංජන් රාමනායක මන්ත්‍රිවරයා සමඟ සිදුකළ දුරකථන සංවාද පිළිබඳ තාක්ෂණික සාක්ෂි අදාළ දුරකථන සේවා සපයන ආයතනවලින් ලබා ගන්නා ලෙසද නීතිපතිවරයා උපදෙස් දී තිබේ.

(Lanka Leads)