Sunday, October 27, 2024
Follow Us
ෂාෆිගේ ගිණුම්වලට කෝටි ගණනින් මුදල් ලැබුණු හැටි හොයන්න විමර්ශන ඇරඹෙයි.

නීති විරෝධී අන්දමින් හා බලහත්කාරයෙන් ගැබිනි මවුවරුන් විශාල පිරිසක් වඳභාවයට පත් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා ඇති නඩුවේ සැකකරු වන කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ සේවය කළ වෛද්‍ය සෙයිගු සිහබ්දීන් මොහොමදු ෂාෆි නමැත්තාට අයත් ගිණුම්වලට සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනාවක මුදල් ලැබීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන ආරම්භ කොට ඇතැයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (16 දා) කුරුණෑගල මහෙස්ත‍්‍රාත් සම්පත් හේවාවසම් මහතාට දැනුම් දුන්නේය.

එම සැකකරු නමින් හා ඔහුගේ පවුලේ සාමාජිකයන් හා සමීප ඥාතීන්ගේ නම්වලින් පවත්වාගෙන යන ගිණුම් සම්බන්ධයෙන් විවිධ මූල්‍ය ආයතන, රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල පවත්වාගෙන යන හා පවත්වාගෙන ගොස් ඇති ගිණුම් සම්බන්ධයෙන් සවිස්තර වාර්තා ලබාගෙන එකී විමර්ශන ආරම්භ කර ඇතැයි ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරි විජිත පෙරේරා මහතා තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කරමින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්නේය.

එමෙන්ම එම සැකකරු දඹුල්ල හා ගලේවෙල රෝහල්වල සේවය කළ සමයේදී ද එලෙස ගැබිනි මවුවරුන්ට නීති විරෝධී අන්දමින් වඳ සැත්කම් කර ඇති බවට ලැබී ඇති පැමිණිලි අනුව සාක්‍ෂි සටහන් කර දඹුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ වෙන්වෙන්ව නඩු දෙකක් පවරා ඇතැයි ද සහකාර පොලිස් අධිකාරිවරයා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය. එමෙන්ම සැකකාර වෛද්‍යවරයා ඔහු සේවය කළ රෝහලකදී කාන්තාවක බිහිකළ දරුවකුගේ ඇඳහිසපත් අංක වෙනස් කොට වෙනත් කාන්තාවකට ලබාදුන් බවට ලැබුණු පැමිණිල්ල අනුව විමර්ශන පවත්වා නීතිපතිවරයාගේ උපදෙස් සඳහා උධෘත යොමු කර ඇතැයි ද සහකාර පොලිස් අධිකාරි විජිත පෙරේරා මහතා අධිකරණයට පැවසීය.

(Lanka Leads)