Thursday, October 24, 2024
Follow Us
කඳුකර දමිළ ජන ප්‍රජාව වෙනුවෙන් වූ සංවර්ධන ව්‍යාපෘතීන් කඩිනම් කිරීමට පියවර

මෙරට ජාතික ආර්ථිකයට  ප්‍රමුඛ දායකත්වයක් ලබා දෙනු ලබන කඳුකර දමිළ ප්‍රජාවගේ සමාජ ආර්ථික මෙන්ම සංස්කෘතික ජීවිතය වඩාත් යහපත් කර ගැනීමේ අරමුණින් රජය ක්‍රියාත්මක කර තිබෙන සංවර්ධන ව්‍යාපෘතින් කඩිනමින් අවසන්කර එහි ප්‍රතිලාභ ජනතාවට හැකි ඉක්මනින් ලබා දෙන ලෙස පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය විජිත හේරත් මහතා  ඊයේ (23)  අදාළ ආයතනයන් හි නිලධාරින්ට උපදෙස් ලබා දුන්නේය.

 

පරිසර, වනජිවි, වන සම්පත්, ජල සම්පාදන, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය යටතේ පවතින “වැවිලි කලාප සඳහා වු නව ගම්මාන අධිකාරිය, වැවිලි මානව සංවර්ධන භාරය සහ සෞම්‍යමුර්ති තෝන්ඩමන් භාරය” යන රාජ්‍ය ආයතනයන් යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති කිහිපයක්  සම්බන්ධව මෙම රැස්වීමේ විශේෂ අවධානය යොමු  විය.

මෙහිදි ඉන්දියානු රජයේ ණය ආධාර ඇතිව ක්‍රියාත්මක නිවාස ඉදිකිරිමේ යෝජනා වැඩසටහන් මෙන්ම අමාත්‍යංශ ප්‍රතිපාදන යටතේ ආරම්භ කර තිබෙන ප්‍රජා යටිතල පහසුකම් ව්‍යාපෘතින්වල වත්මන් තත්ත්වය  පිළිබඳව එම ආයතනයන් හි  නිලධාරීන්  විසින් ප්‍රගති වාර්තා ඉදිරිපත් කරන ලදී.

වැවිලි මානව සංවර්ධන භාරය විසින් ක්‍රියාත්මක නිවාස ව්‍යාපෘතිවලින් 2024 වසරේ තුන්වන කාර්තුවේ අග භාගය වන විට 2024 ට අදාළව නිවාස ඉදිකිරිම් සම්බන්ධ ව්‍යාපෘතිවල ප්‍රගතිය 90% සීමාව ඉක්මවා ඇති බව මෙහිදී අනාවරණය විය. හැටන්,නුවරඑළිය,නුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල පිළිවෙළින් සියයට  91%,  90%  92%  100% නිවාස යෝජනා ව්‍යාපෘතීන් ඉදිකිරිමේ ප්‍රතිශතය අවසන් අදියරවලට පැමිණ ඇත.

මිට අමතරව වැවිලි කලාප සදහා වු නව ගම්මාන අධිකාරිය විසින් (New Villages Development Authority For Plantation Region) ක්‍රියාත්මක නිවාස හිමිකම් සහ ඉඩම් ඔප්පු 1060 ප්‍රදානයට අදාළ කටයුතු සුදානම් කර තිබේ. ඉන් ඔප්පු 563ක් සම්පුර්ණ වශයෙන් ලියාපදිංචිය ද  සිදුකර අවසන් අතර තවත් ඔප්පු 497කට අදාළව ලියාපදිංචිය සිදුකරමින් පවති.

මේ වන විට වැඩ අවසන් වි ඇති නිවාස සහ ලියාපදිංචිය අවසන් කර තිබෙන ඉඩම් හිමිකම් ඔප්පු දේශපාලන අධිකාරීය සම්බන්ධ කර නොගෙන රාජ්‍ය නිලධාරී මට්ටමින් ලැබිය යුතු සැබෑ ප්‍රතිලාභින්ට කඩිනමින් ප්‍රදානයට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකර වැවිලි කර්මාන්තය සදහා නව ගම්මාන අධිකාරිය මැදිහත්ව කඳුකර වතු ප්‍රජාවගේ  නිවාස සම්බන්ධ විධිමත් සංගණයක් සිදු කිරීමටද පියවර ගෙන ඇති බව ‌මෙහිදි පෙන්වා දෙනු ලැබිණි. ඒ සඳහා ජංගම දුරකතන ඩිජිටල් තාක්ෂණය භාවිත  කිරීමට නියමිතය. ඒ් තුළින් කඳුකර වතු ප්‍රජාවගේ නිවාස මෙන්ම ඉඩම් සහ  යටිතල පහසුකම් සම්බන්ධයෙන් ප්‍රථම වරට විධිමත් දත්ත සංචිතයක් පවත්වාගෙන යාමට ද අපේක්ෂිතයි. එය ඉදිරි සංවර්ධන වැඩසටහන්වලදි කාර්යක්ෂම ලෙස භාවිතා කළ හැකි වනු ඇත.

මෙම සාකච්ඡාවේදි රාජ්‍ය ආයතන අතර පවතින සම්බන්ධිකරණ දෝෂ ඇත්නම් කඩිනමින් නිරාකරණයට අවශ්‍ය පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා මෙම ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය අවධාරණය කළේය.

මෙහිදි කඳුකර ප්‍රජාවගේ නිවාසවල වෙසෙන පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළ නැංවිමේ අරමුණින් ක්‍රියාත්මක දිවා ආහාර ලබා දීමේ වැඩසටහන්වල පවතින අඩුපාඩු හඳුනාගෙන එය විධිමත් කිරිමේ අවශ්‍යතාවය ද පෙන්වා දෙනු ලැබිණි.

එලෙසම දමිළ ජනතාවගේ සුවිශේෂි උත්සව අවස්ථාවක් වන දීපවාලි වෙනුවෙන් කුඩා දරුවන් සහ ප්‍රජාව සම්බන්ධ වන විශේෂ සංස්කෘතික අවස්ථාවන් සංවිධානයට අවශ්‍ය පියවර ගන්නා ලෙස  අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නේය.

සෞම්‍ය මුර්තිතොන්ඩමන් භාරය යටතේ හැටන් නගරයේ අලුතින් ඉදිකරන ලද සංස්කෘතික මධ්‍යස්ථානයේ  සංස්කෘතික හා වෘත්තිමය පාඨමාලාවන් සඳහා පාසල් හැර යන තරුණ ප්‍රජාව සහභාගි කර ගැනීමේ අවශ්‍යාතාවයද පෙන්වා දෙනු ලැබූ අතර හෝටල් සේවා පාඨමාලා ඇතුළු වන වෘත්තීය පාඨමාලා කඳුකර තරුණ තරුණියන්ට හඳුන්වා දීමේ වැදගත්කම ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.