Sunday, October 27, 2024
Follow Us
හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුරට පිළිකාවක් – තාජුඩීන් ඝාතන නඩුව අර්බුධයක

මහත් ආන්දෝලනයකට තුඩුදුන් රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතන සිද්ධිය මිනීමැරුමක් බව දනිමින් ඒ හා සම්බන්ධ සාක්ෂි වසන් කළේ යැයි චෝදනා එල්ල වී සිටින බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය විත්තිකරු නොමැතිව ආරම්භ කිරීම සඳහා අවසර දෙන ලෙස නීතිපතිවරයා ඉල්ලා තිබේ.

ඊට අදාළ සාක්ෂි මාර්තු මස 02 වන දා මෙහෙයවීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි ඊයේ (16 වැනිදා) නියෝග කළේය.

මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර අනුර සේනානායක අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විත්තිකරු සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වෛද්‍ය වාර්තාව මගින් ඔහුට පවතින රෝගී තත්ත්වය කිනම් දිනක සුව වේද යන්න පිළිබඳව වෛද්‍යවරුන්ට පවා නිගමනයකට එළඹීමට නොහැකි තත්ත්වයක් පවතින බව පෙන්වා දුන්නේය.

මේ හේතුවෙන් විත්තිකරුට අධිකරණයට පැමිණ රැඳී සිටීමට පවා අපහසු තත්ත්වයක් පවතින හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 241 (අ)(3) වගන්තිය යටතේ විත්තිකරුගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඔහු නොමැතිව මෙම නඩුව පවත්වාගෙන යාමට හැකියාවක් පවතින බවත් ඒ සඳහා සාක්ෂි මෙහෙයවීමට අවසර දෙන ලෙසත් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එම අවස්ථාවේ විත්තිකාර අනුර සේනානායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණය හමුවේ සඳහන් කර සිටියේ විත්තිකරුගේ අනුමැතියක් නොමැතිව මේ ආකාරයෙන් නඩු විභාගය ආරම්භ කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවය.

විත්තිකරු පිළිකා රෝගයෙන් පෙළෙන බවත් ඔහුට කවදා සුව වේද යන්න පිළිබඳව වෛද්‍යවරුන්ට පවා කිව නොහැකි තත්ත්වයක් තිබෙන බවත් මෙවැනි වාතාවරණයක් යටතේ නඩු විභාගය ආරම්භ කළහොත් තම සේවාදායකයාට දැඩි අගතියක් සිදුවන බවද ජනාධිපති නීතිඥවරයා සඳහන් කර සිටියේය.

සිය සේවාදායකයා වර්තමානයේ සිටින රෝගී තත්ත්වය මත ඔහුගෙන් උපදෙස් ලබා ගැනීම පවා අපහසු බවත් එබැවින් මෙම ඉල්ලීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

නීතිපතිවරයා විසින් සිදුකරනු ලැබූ ඉල්ලීම සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශයට පත් කළ විනිසුරු විකුම් කළුආරච්චි විත්තිකරු නොමැතිව නඩු විභාගය ආරම්භ කිරීම සම්බන්ධයෙන් අධිකරණය තීරණයකට එළැඹෙන්නේ ඊට අදාළව ඉදිරිපත් කරනු ලබන සාක්ෂි විශ්ලේෂණය කර අධිකරණයට සෑහීමකට පත්විය හැකි කරුණු ඉදිරිපත් වන්නේ නම් පමණක් බව ප්‍රකාශ කර සියේය.

(Lanka Leads)