Sunday, October 27, 2024
Follow Us
මත්ද්‍රව්‍ය ජාලය සහමුලින්ම තුරන් කරන්න ඇවන්ගාඩ් සභාපතිගෙන් යෝජනාවලියක් !

දින 30 ක කාලයක් වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රිමාන්ඩ් සැකකරු අංක 5991 යටතේ ගත කරමින් සිටි ඇවන්ට් ගාර්ඩ් සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති මහතා, බන්ධනාගාරය තුළදී ඔහු ලද පෞද්ගලික අත්දැකීම් පදනම් කරගනිමින් මෙන්ම ඉමහත් වගකීමක්ද ගනිමින්, සමාජයේ වරදින් බන්ධනාගාර ගත වී සිටින රැඳවියන් රටට වැඩදායී පුරවැසියන් කර රජයට වාර්ෂිකව රුපියල් බිලියනයක ආදායමක් ලබා දීම පිණිස අතිශයින් ප්‍රායෝගික ව්‍යාපෘති වාර්තාවක් සූදානම් කර අග්‍රාමාත්‍යවරයාට භාර දී ඇත. සේනාධිපති මහතා මෙම ව්‍යාපෘති වාර්තාව සකසා ඇත්තේ "සිරකරුවන්ට සඳහා එක්සත් ජාතීන්ගේ සම්මත අවම නීතිය හෙවත් නෙල්සන් මැන්ඩෙලා නීතියේ" අංක 98 ජේදය යටතේ වන අතර එම නීතියට ගරු කරමින් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය අනිවාර්යයෙන්ම බැඳී සිටී.

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ සැකකාර රැඳවියන්ගෙන් 90% ක් පමණ මත්ද්‍රව්‍ය පිළිබඳ හේතු මත එහි රඳවා ඇති බවත්, රට තුළ මත්ද්‍රව්‍ය උවදුර ව්‍යාප්ත කිරීම වෙනුවෙන් බොහෝ රැඳවියන් හා ඔවුන් බැලීමට පැමිණෙන අමුත්තන් අතර සිදුවන කතා බහ හරහා මහා පරිමාණ මෙහෙයුම් සිදුකිරීම වෙනුවෙන් ක්‍රමවේද සාකච්ඡා කිරීම් පැවැත්වෙන බවත් පෞද්ගලිකව නිරීක්ෂණය කර ඇති සේනාධිපති මහතා පවසන්නේ, එලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට විවිධ සමාජයීය හේතු නිසා පත්වන ශ්‍රී ලාංකික තරුණ පරපුර එවන් ව්‍යසනයන්ගෙන් නොපමාව මුදවාගෙන රටට හා ජාතියට වැඩදායී පිරිසක් බවට පත් කිරීම තම ඒකායන අරමුණ බවයි.

සිය යුධ හමුදා ජීවිතයේදී උගත් උපක්‍රමිකව වැදගත් තොරතුරු රැස් කිරීම හා එමඟින් සමාජයට අහිතකර ක්‍රියා මාර්ග නැති කර දැමීම මෙන්ම, යුධ හමුදාවෙන් ලද පන්නරය තුළින් තමා මෙම ව්‍යාපෘතිය සැලසුම් කළ බව පැවසූ ඇවන්ට් ගාර්ඩ් සභාපතිවරයා, ඉහතින් සඳහන් කල මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය සහමුළින් තුරන් කිරීම තුළින් ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය උවදුර 80% අඩු කර දැමීමට හැකි බව ප්‍රත්‍යක්‍ෂ කරයි. මෙමඟින් රටේ පාතාල ක්‍රියාකාරකම්, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, හොරකම්, මංකොල්ලකෑම් ආදී අපරාධ රැල්ල බොහෝ සෙයින් අඩු වන බවද සේනාධිපති මහතා පවසා සිටී.

දැනට රජය විසින් කරනු ලබන්නේ මත්ද්‍රව්‍ය අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන සිරභාරයට පත්කිරීම බව පැවසූ හෙතෙම එමඟින් මෙම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට කිසිදිනෙක ඉඩක් නොලැබෙන බවත්, මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය සහමුළින් විනාශ කර දැමීම තුළින් පමණක් මත්ද්‍රව්‍ය උවදුරින් රට ගලවා ගත හැකි බව පෙන්වා දෙන්නේ බන්ධනාගාරය තුළදී රැඳවියන් සමඟ කතා බස් කොට ලබා ගත් තොරතුරු අනුවය. මෙම මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය විනාශ කළ හැකි වන්නේ බන්ධනාගාර රැඳවියන් විධිමත් කාර්යයන්ට යොදවමින් රටේ ඵලදායීත්වය වර්ධනය කිරීමට යොමු කිරීමෙනි. මෙමඟින් රටටත්, මුළු මහත් සමාජයටත්, රැඳවියන්ටත් යහපත උදාවනු ඇත.

 


ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය සහමුලින්ම විනාශ කිරීම සඳහා බන්ධනාගාර රැඳවියන් 5000 ක පමණ ප්‍රමාණයක් තෝරා ගෙන ඔවුන්ට සමාජයට වැඩදායී පුද්ගලයන් ලෙස අහිමානයෙන් ජීවත්වීම පිණිස බර වාහන රියදුරු, ෆෝක් ලිෆ්ට් ඔපරේටර්, විදුලි කාර්මික, ඇඟළුම් තාක්ෂණික කාර්මික, මේසන්, ජල නල කාර්මික ආදී ක්ෂේත්‍රයන්හි මනා පුහුණුවක් හා ඉංග්‍රීසි, ප්‍රංශ, ජර්මන්, අරාබි ආදී ලෝකයේ ප්‍රධාන භාෂාවන් මනාසේ හැසිරවීම පිළිබඳව මනා පුහුණුවක් ද ලබා දීමෙන් අනතුරුව ඔවුන්ට මේ රටේ රැකියා අවස්ථා ලබා දීම තුළින් රජයට වසරකට රුපියල් බිලියනයක ආදායමක් ලබා දෙන බවයි.

මුළු ව්‍යාපෘති කාල සීමාව වන වසර 5 කට පසුව, සිය දඬුවම් කාල සීමාව අවසන් කර සමාජගත වන රැඳවියන්ගෙන් 80% ක් පුහුණු කාර්මිකයන් වශයෙන් යුරෝපීය රටවල හා මැද පෙරදිග රටවල ඩොලර් 5000 ක මාසික වැටුප් ලබන රැකියාවන් පිණිස අනුයුක්ත කර දීමේ භාරදූර වගකීමද ඇවන්ට් ගාර්ඩ් සහාපතිවරයාම භාර ගෙන ඇත. මෙමගින් රටට ලැබෙන විදේශ විනිමය වසරකට ඩොලර් මිලියන 240 ක් හෙවත් රුපියල් බිලියන 43 කි (රුපියල් මිලියන 43000 කි).

 


කාලෝචිතව හා නිසි අධ්‍යයනයකින් පසුව පිළියෙළ කරන ලද මෙම සම්පුර්ණ ව්‍යාපෘති වාර්තාව සැකසීමට නන් අයුරින් සහයෝගය දැක්වූ සැමට සිය ස්තුතිය පළකරන මේජර් නිශ්ශංක සේනාධිපති මහතා, සිය ව්‍යාපෘති වාර්තාව 2020 ජනවාරි මස 12 වෙනි දින ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතට පත් කරන්නට යෙදුණු අතර ඉදිරි දින දෙක තුන තුළදී එම වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට කටයුතු පිළියෙළ කර ඇත.

උපුටා ගැනීම - Save Avant Grade ෆේස් බුක් පිටුව
(LNW)