Sunday, October 27, 2024
Follow Us
‘‘නොදන්න දේවල් කරන්න ගිහින් නාස්ති වෙන්න එපා…‘‘ – ආණ්ඩුව ගෙනා මද්‍රසා පාසැල් ලියාපදිංචි යෝජනාවට ඥාණසාර හිමි එරෙහිි වෙයි

ඉස්ලාම් අන්තවාදී උන්මත්තක බලවේග දේශපාලන බලය රහිතව වුවද තමන්ට අවශ්‍ය පුද්ගලයන් අවශ්‍ය ස්ථානවලට යෙදවීමේ උත්සාහයක නිරතව සිටින බව බොදු බල සේනා සංවිධානයේ සභාපති ගල​බොඩඅත්තේ ඥානසාර හිමි පවසති.

උන්වහන්සේ මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (14 වැනිදා) කොළඹදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.

අන්තවාදී ප්‍රශ්නය පිළිබඳව අදාළ පුද්ගලයන් සාක්ෂි ඇතුව හෙළිකර තිබියදී සිද්ධියට අදාළ පුද්ගලයන්ටම තනතුරු තානාන්තර ලබාදීමට රාජපක්ෂ මහතාට ඇති වුවමනාව කුමක්දැයි උන්වහන්සේ එහිදී ප්‍රශ්න කර සිටියහ.

මෙම ඉස්ලාම් කණ්ඩායම් පිළිබඳව නිසි අවබෝධයක් නොමැති දේශපාලනඥයන් එය දන්නා පුද්ගලයන්ගෙන් විමසා බැලිය යුතු බව පවසන ඥානසාර හිමියෝ, සිංහල බෞද්ධ අපේක්ෂා මුදුන්පත් කරගැනීමට නම් තුන්වැනි බලවේගයක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව පැහැදිලි කළහ. මේ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ ඥානසාර හිමියෝ මෙසේද පැවැසූහ.

‘‘මේ හොරගල් අහුලන අතරතුරු ඔවුන් නැවත සංවිධානය වෙනවා. දැන් සියල්ල හරි කියලා ජනතාව හිතුවට ඒක එහෙම වෙලා නෑ.

මද්‍රසා පාසල් නියාමනය කිරීම පිළිබඳව දැන් කතාබහක් තියෙනවා. අපි දකින ඉස්ලාමය නෙවෙයි මේකේ තියෙන්නේ. මද්‍රසා ගැන මොනාද මැති ඇමැතිවරු දන්නේ? ඔවුන්ගේ සංස්කෘතියටත්, අපිටත් තර්ජනයක් නොවන විදියට මෙය සිදුවිය යුතුයි. සාම්ප්‍රදායික ස්වදේශික මුස්ලිම්වරු නැත්නම් අපට සුෆි මුස්ලිම්වරුන්ට දැන් ඉඩක් නෑ.

ලෝකය භීතියට පත්කළ මරාගෙන මැරෙන නායකයන් විසින් මෙහෙයවන මද්‍රසා පාසල් 48 ක් දෙමටගොඩ සිට වැල්ලම්පිටිය දක්වා පිහිටලා තියෙනවා. තැන් තැන්වල අහිංසක මුස්ලිම් දරුවන් එකතු කරගෙන පාට පාට ඇඳුම් අන්දවලා ත්‍රස්තවාදයට පාර කපනවා.

ආණ්ඩුව පත්වෙලා දින 50 ක් ගෙවුණත් මේ ගැන සාකච්ඡා කළාද? පාස්කු ප්‍රහාරයෙන් මියගිය අයට සාධාරණයක් ඉටු කළාද? මරාගෙන මැරෙන මතවාදය ඔළුවට ගත්ත අන්තවාදීන් කණ්ඩායමක් රේගුවේ, ගුවන් සේවයේ හා අධ්‍යාපන සේවයේ ඉන්නවා. පාසල් පෙළ පොත්වලට විෂ එකතු කළේ මේ පුද්ගලයන්. මෙයාලා තමයි මද්‍රසා පාසල් ඉල්ලන්නේ. ධම්මපදයක් දන්නේ නැති අපේ දේශපාලනඥයන්ට මද්‍රසා ගැන තේරෙන්නේ නෑ.

ඒ නිසා මම ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් කියන්නේ නොදන්න දේවල් කරන්න ගිහින් නාස්ති වෙන්න එපා කියලා.

නිකන්ම නිකම් මරාගෙන මැරෙන මිනිස්සු බිහිවෙන්නේ නෑ. ගිය සතියේ කොල්ලුපිටියේ ආගම් මාරු කරන ස්ථානයකට බලපත්‍ර ලැබුණා. තව එකක් තියෙනවා වැල්ලවත්ත රෝහිණ්‍යා පටුමගේ. ඒ අයගේ වැඩපිළිවෙළ තාමත් ක්‍රියාත්මකයි. මද්‍රසා ප්‍රශ්නය බරපතළයි. පනත් ගෙනත් සම්මත කරන එකට වඩා තහනම් කරන එකයි කරන්න ඕනෑ.

ඒ වගේම මේ රටේ රන්ජන්ගේ හඬපට ප්‍රශ්නයට වඩා ප්‍රශ්න තියෙනවා කතා කරන්න. මේ සංසරණය වෙන හඬපට වාරණය කළ යුතුයි. මේ සම්බන්ධව ගතයුතු ක්‍රියාමාර්ග දෙකයි තියෙන්නේ. ඔහුව ඉක්මනට මානසික වෛද්‍යවරයෙක් වෙත යොමුකොට අංගොඩ යැවිය යුතුයි. නැත්නම් රඳවා තබාගෙන ප්‍රශ්න කිරිම සඳහා මාස හයකටවත් අත්අඩංගුවට ගත යුතුයි. නැත්නම් මේ ආණ්ඩුවමයි හිරවෙන්නේ. අපිට නම් බයවෙන්න දෙයක් නෑ. අපි රන්ජන්ට කතා කරලා නෑ. නමුත් පොදුවේ ගත්තොත් ඒ මනුස්සයට කතා කරපු මිනිස්සු භීතියට පත්වෙලා ඉන්න විදිය බලන්න. රන්ජන් මොන කෙල්ලට කතා කළත් අපිට මොකද? ආණ්ඩු පෙරලන්න හෝ උසාවි සම්බන්ධ දෙයක් නම් ඒක එළියට ගත්තට කමක් නෑ. නමුත් සමාජ මාධ්‍ය තුළ හැම එකක්ම ඔහේ සංසරණය වෙන්න ඉඩ හරිනවා.

අපි මොනවා හරි කරනවා නම් ඒවා වාරණය කරනවා. තාමත් අපි සමාජ මාධ්‍ය තුළ වාරණයට ලක්වෙලා ඉන්නේ.

රන්ජන් පුදුම විෂයන් තොගයක් දන්න කෙනෙක්. යශෝධරා දේවිය පිළිබඳව අපි මොනතරම් ලස්සන පුරාවෘත්තද අහලා තියෙන්නේ. මේ වගේ අපහාස කරන පුද්ගලයන්ට ධාතු සුනඛයෝ කියන්න පුළුවන්. බුදු දහමේ විදියට පුද්ගලයෙක් හැදෙන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතු සහ ආකාස, විඥාන එකතු වෙලා. නමුත් රන්ජන්ම කියන ආකාරයට ජාන පැටලවිල්ල ගත්තම එතෙන්ට සුනඛ ඒවත් එන්න පුළුවන්නේ. එහෙම බලද්දී මෙයා ධාතු සුනඛයෙකි. ඒක තමයි මට දෙන්න පුළුවන් උත්තරය. ඒක නිසා ආණ්ඩුව තවදුරටත් රන්ජන් රටේ ඇති එකම ප්‍රශ්නය කරගත යුතු නෑ. ක්‍රිස්තියානු මූලධර්මවාදී සංවිධාන 455 ක් බොහොම තදට වැඩ කරනවා. ඒ දිහා බලන්න. ජාතියක් විදියට මිනිස්සු එකතු වුණා. දැන් ලස්සනට ජාතිය ගොඩනැගිය යුතුයි.’’

(Lanka Leads)