Thursday, October 24, 2024
Follow Us
සංගණන නිලධාරීන්ට තොරතුරු ලබා දීමට බිය නොවන්න

2024 දෙසැම්බර් 19 දින “සංගණන දිනය ” ලෙස නම් කර ඇති බවත්  ඒ අනුව එම කාලය තුළ රටේ සෑම සංගණන ඒකකයකටම සංගණන නිලධාරියෙකු පැමිණ තොරතුරු රැස් කරනු ලබන බවත් සංගණන අඥා පනතට අනුව එම ලබා ගන්නා පෞද්ගලික තොරතුරුවල රහස්‍යභාවය සුරැකීමට සෑම සංගණන නිලධාරීයෙකුම බැඳී සිටීන බැවින් නිවැරදි තොරතුරු ලබා දීමට බිය නොවන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඩී. ඩී. ජී.ඒ. සෙනෙවිරත්න මහත්මිය පවසයි.

අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව ප්‍රකාශ කළේ, ඊයේ (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති සාකච්ඡාවක දීය.

ඒ අනුව එම කාලය තුළ රටේ සෑම ඒකකයක්ම ආවරණය වන ලෙස  සංගණනය සිදු කෙරන බවත්  2024 ඔක්තෝම්බර් 07  නිල වශයෙන් සංගණනය ආරම්භ කර ඇති බවත් මේ වන විට ජන හා නිවාස සංගණනයේ තුන්වැනි අදියර වන පුද්ගල හා නිවාස ඒකක පිළිබඳ තොරතුරු රැස් කිරීම සිදු කරන බවත් අධ්‍යක්ෂ ජනරාල්වරිය පෙන්වා දුන්නාය.

එමෙන්ම රටේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක තොරතුරු රැස් කරන බැවින් සංගණනය සඳහා නිවෙස්වලට යන නිලධාරීන් සංගණන අඥා පනතේ නීතිවලටත් මැතිවැණ කොමිෂන් සභාවේ නීතිවලටත් යටත්ව කටයුතු කරන බවට දිවුරුම් ලබා දී ඇති බව පැවසු අධ්‍යක්ෂ ජනරාල්වරිය එම නිලධාරීන් හුදෙක්ම නිවෙස් කරා යාම සිදු කරනුයේ තම රාජකාරී කටයුත්ත සඳහා බවත් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ පුද්ගලයෙකු ප්‍රවර්ධනය සඳහා නොවන බවත් සඳහන් කළාය.

තවද මෙම කාලය තුළදී සංගණන ක්‍රියාවලියෙහි තාක්ෂණික කටයුතු මෙහෙයවිම ජන  හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සිදු කරන අතර පරිපාලන කටයුතු දිස්ත්‍රික් ලේකම්/දිසාපති , ප්‍රාදේශිය ලේකම් ඇතුලු දිස්ත්‍රික් පරිපාලනය විසින් සිදු කරන අතර  මෙවර තොරතුරු රැස් කිරීම සඳහා රාජ්‍ය නිලධාරීන් ඇතුළුව නිලධාරීන් 35,000ක් පමණ මෙම ක්‍රියාවලියට යොදවා තිබේ. ශ්‍රි ලංකාවේ සංගණන ඉතිහාසයේ ප්‍රථම වරට පරිගණක තාක්ෂණය භාවිතා කරමින් මෙවර සංගණන කාර්ය සිදු වන බවත් ඔවුන්ට ඒ සඳහා මනා පුහුණුවක්ද ලබා දී ඇති බවද ඇය පෙන්වා දුන්නාය.

තවද අවසන් වරට සංගණයනයක් පවත්වා ඇත්තේ 2012 වර්ෂයේ වන අතර ඒ අනුව මෙම සංගණනය පැවැත්වෙනුයේ වසර 12කට පසුව බවද පැවසු  අධ්‍යක්ෂ ජනරාල්වරිය,  කිසිදු පුද්ගලයෙකු හෝ නිවසක් මග නොහැරෙන ලෙසත් එක ඒකකයක් දෙවරක් ගණන් නොගැනෙන ලෙස මෙම සංගණනය සිදු කරන බවද පැවසුවාය.

මෙම සංගණන ක්‍රියාවලියේදි සෑම සංගණන ඒකකයකටම රතු පැහැති  සංගණන ලේබලයක් අලවනු ලබයි. එම ඒකකයන්වල පදිංචි පුද්ගලයින්ගේ තොරතුරු සඳහන් කිරීමට කහ පැහැති පත්‍රිකාවක් අදාළ ඒකකයන්වලට ලබා දෙන බවත් තොරතුරු රැස් කිරීමට සංගණන නිලධාරීන් පැමිණිවිට එම කහ පැහැති පත්‍රිකාව පුරවා දෙන ලෙසත් අධ්‍යක්ෂ ජනරාල්වරිය ජනතාවගෙන් ඉල්ලා සිටියාය.

සංඛ්‍යාලේඛන අනාගත පරපුරේ සහ රටේ සාර්ථකත්වයට අඩිතාලමක් වන බැවින් මේ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.