Sunday, October 27, 2024
Follow Us
ඉහළ ගිය එළවළු මිල පහළ යමින් තිබේ

කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 300 ත් 400 ත් අතර අගයක් දක්වා මිල ඉහළ ගොස් තිබූ බොහෝ එළවළු වර්ගවල මිල මේ වනවිට ක‍්‍රමයෙන් අඩුවෙමින් තිබෙනවා.

හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනය පැවසුවේ ඉදිරි සති දෙක ඇතුළත එළවළු මිල තවදුරටත් අඩුවනු ඇති බවයි.

එහි අධ්‍යක්‍ෂ දුමින්ද පි‍්‍රයදර්ශන පෙන්වා දුන්නේ "බෝංචි, බීට්රූට් සහ ලීක්ස් කියන එළවලුවළු හැර අනෙකුත් එළවළුවල මිල පහළ යෑමක් තියෙනවා පසුගිය මාසයට සාපේක්ෂව. මහ කන්නයේ අස්වැනු වෙළඳපොලට ලැබීමට තව සති දෙකක් විතර යයි. ඒ වන විට වෙළඳපොල තත්ත්වය සාමාන්‍ය අතට පත් වේවි." වනුවෙනි.

එළවළු මිල සත්‍ය ලෙසම අඩුවී ඇත්දැයි සොයා බැලීම සඳහා නෙත් නිවුස් වෙළදපොල චාරිකාවක්ද සිදු කළා. දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ නිරීක්‍ෂණයක යෙදුණු නෙත් නිවුස් වාර්තාකරු කියා සිටියේ "පසුගිය දින කිහිපයේ සීඝ්‍රයෙන් ඉහළ ගිය එළවළු මිල 30%කින් පමණ මේ වන විට අඩු වී ඇති බවයි."

යාපනයෙන් ලැබෙන එළවළු ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම තත්ත්වය ඇති වී තිබෙන බවද සඳහන් කළා.

එළවළු තොග මිල තරමක් අඩුවී තිබුණත් එළවළු සිල්ලර මිල තවමත් අඩුවී නොමැති බව නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා.

ඉකුත් දිනවල මිල ඉහළ ගොස් තිබූ ලොකු ලූනු සහ අර්තාපල් මිලද මේ වනවිට තරමක් අඩුවී තිබෙනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළදුන්ගේ සංගමය පැවසුවේ පාකිස්තාන අර්තාපල් තොග මිල මේ වනවිට කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 80 ත් 85 ත් අතර වන බවයි.

නෙදර්ලන්ත ලොකු ලූනුවල තොග මිල කිලෝග‍්‍රෑම් එකක් රුපියල් 85 ක් පමණ දක්වා අඩු වී තිබෙනවා.

පාකිස්තාන ලොකු ලූනුවල තොග මිල මේ වනවිට පවතින්නේ රුපියල් 140 ක් පමණ අගයකයි.

(Neth)