Sunday, October 27, 2024
Follow Us
ජනපතිගේ උපදෙසින් මහපොළ ශිෂ්‍යාධාර ඉහළට

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි මහපොළ ශිෂ්‍යාධාර වැඩි කිරීම රජය තිරණය කර තිබේ.

ඒ සරසවි සිසුන් හා උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් සම්‍මග පැවැති සාකච්ඡාවකින් අනතුරුවයි.

සරසවි සිසුන් ඉල්ලීම් කිපයක් මුල්කර ගනිමින් විරෝධතා පෙළපාලියකින් ඊයේ(09) ජනාධිපති කාර්යාල දක්වා පැමිණියා

එය සැලවීමත් සමග අදාළ සිසුන්ට කිසිදු බාධාවකින් තොරව ජනාධිපති කාර්යාලය අබියසට පැමිණීමට අවස්ථාව සලසන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සියලු ආරක්ෂක අංශ වෙත උපදෙස් ලබා දුන්නේය.

ඒ වන විට ජනාධිපතිවරයා සහ ජනපති ලේකම්වරයා කාර්යාලයෙන් පිටත රාජකාරි කටයුත්තක නිරතව සිටීම හේතුවෙන් සිසුන් සමඟ සාකච්ඡා කර විසඳුම් සෙවීම සඳහා ජනාධිපති අතිරේක ලේකම්වරයාට සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන්ට භාර දී තිබේ.

සිසුන්ගේ ඉල්ලීම් පිළිබඳව එම අවස්ථාවේදීම ජනාධිපති ලේකම්වරයා දැනුවත් කර උපදෙස් ලබාගැනීමටත් අදාළ නිලධාරින් කටයුතු කළේය.

ඒ අනුව නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල හිඟ මහපොළ සහ ශිෂ්‍යාධාර මුදල් ලබන සඳුදා වන විට ගෙවීමට තීරණය වී තිබේ.

එමෙන්ම දේශන සඳහා පැමිණීම සියයට අසූව සම්පූර්ණ කර නැති සිසුන්ට මහපොළ ලබාදීම, ශිෂ්‍යාධාර සහ මහපොළ සම මට්ටමට ගෙන ඒම,සබරගමුව විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු,ඇතුළු යෝජනා කිහිපයක් සම්බන්ධයෙන් කඩිනම් විසඳුම් ලබාදීම කෙරෙහි එහිදී අවධානය යොමුවුණි.

පවතින ගැටලු සම්බන්ධයෙන් මසකට වරක් හෝ සිසුන්ගේ අභිමතය පරිදි සති දෙකකට වරක් හෝ සාකච්ඡා කිරීමටත් මෙහිදි යෝජනා වී තිබේ.

ජනාධිපති අතිරේක ලේකම්වරයා,උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයා, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්වුණි.

සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපති කාර්යාලය ඉදිරිපිට රැස්ව සිටි සිසුන් සාමකාමීව විසිර ගියේය.

(Lanka Leads)