Sunday, October 27, 2024
Follow Us
පාස්කු ප්‍රහාරය ගැන සොයා බලන ජනපති කොමිසම 300කගෙන් ප්‍රකාශ ගනී

පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව විසින් මේ වන විට පුද්ගලයින් 300 කට අධික පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කොමිසම වෙත පැමිණිලි ඉදිරිපත් කළ හා එම පැමිණිලිවලට සම්බන්ධ පාර්ශවයන්ගෙන් මෙලෙස ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේය.

ඒ අනුව මේ වන විට පුද්ගලයින් 345 දෙනෙකුගෙන් කොමිසම ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

කොමිසමේ කාලය ලබන මාර්තු මස 31 වනදා අවසන් වීමට නියමිත අතර පාස්කු ප්‍රහාරයට අදාලව තවදුරටත් පාර්ශව රැසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු පිරිස පුහුණුව ලැබූ බව පැවසෙන වනාතවිල්ලුව, ලැක්ටොවත්ත ප්‍රදේශය ජනාධිපති කොමිසමේ නිලධාරීන් පසුගියදා නිරීක්ෂණයට ලක් කර තිබේ.

අදාල ප්‍රදේශයේ පුපුරණ ද්‍රව්‍ය සගවා ඇති බවට පාස්කු ප්‍රහාරයට පෙර තොරතුරු ලැබී තිබූ අතර ඊට අදාලව සැකකරුවන් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ සිදුකරන අතරතුරදී ප්‍රහාරය එල්ල වී තිබුණි.

එමෙන්ම පාස්කු ඉරුදින ප්‍රහාරය ගැන සෙවීමේ ජනාධිපති කොමිසමේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් පොතුහැර, මාවනැල්ල සහ මඩකලපුව යන ප්‍රදේශවල ද නිරීක්ෂණයක නිරත වී තිබේ.

එහිදී එම ප්‍රදේශවල ජනතාවගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට ද ජනාධිපති කොමිසමේ වි‍ශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන් කටයුතු කර ඇති බව එහි ප්‍රකාශකයෙකු අද දෙරණට පැවසුවේය.

(Lanka Leads)