Sunday, October 27, 2024
Follow Us
පොලිස්පති සෝපාන ක්‍රියාකරුවෙකුට පහරදීමේ සිදුවීම: විමර්ශන අවසන් !

පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (08) අධිකරණය වෙත දැනුම් දුන්නේය. ඒ මෙම සිදුවීමට අදාල පැමිණිල්ල අද කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීය.

මෙම සිදුවීමට අදාලව චෝදනා එල්ල වී ඇත්තේ මේ වනවිට අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා වෙතයි.

රහස් පොලීසිය විසින් සිදුකළ පරීක්ෂණයට අදාල අවසන් වාර්තාව ලබන 18 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කරන බවත්, මෙම පැමිණිල්ලට අදාල නඩුව ගොනු කරන්නේ කොළඹ මහාධිකරණයේද එසේ නැතහොත් වෙනත් අධිකරණයකද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණය ද එදින දැනුම් දෙන බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිළධාරීන් අධිකරණය හමුවේ පවසා තිබෙනවා.

2017 වසරේදී පොලිස් මූලස්ථානයේ සෝපාන ක්‍රියාකරු ලෙස කටයුතු කළ කාර්යාල කාර්යය සහයකයෙකුට සාපරාධී බලහත්කාරය පෑම සහ සාපරාධී බියගැන්වීම යන චෝදනා යටතේයි පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව මෙම විමර්ශනය ආරම්භ කෙරිණි.

මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පූජිත් ජයසුන්දර මහතා ලබන 18 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා වැලිකඩ බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියෝග කළේය.

(LNW)