Sunday, October 27, 2024
Follow Us
හන්තානත් ගිනි ගනී, අක්කර 12 ක වනගහනය බිළිවෙයි !

හන්තාන පරිසර ආරක්ෂිත කලාපයට යාබදව සරසවිගම ඉහළ කොටසේ සිදුවූ ගිනි ගැනීමක් නිසා අක්කර දොළහක පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී තිබේ.

මෝබ්‍රී වත්තට නුදුරුව සරසවිගම ඉහළ ප්‍රදේශයේ සිට වක්‍රාකාර අයුරින් ඊයේ (07) රාත්‍රී මෙම ගිනි ගැනීම සිදුවී ඇති බවත් ඇතැම් විට මෙය සතුන් දඩයම් කිරීමේ අරමුණින් කරන්නට ඇතැයි විශ්වාස කරන බවත් හන්තාන සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම් අමිත් සේනානායක මහතා පවසයි.

පැය හතරක පමණ කාලයක් පැවති ගින්න පොලිසියේ මැදිහත් වීමෙන් නිවා දමා ඇති අතර ගින්න පිළිබඳව දැනුම්දීම සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ විශේෂ ඇමතුම් ඒකකයට සහ ආපදා කළමනාකරණය ඒකකයට දැනුම් දුන් නමුත් ඉන් කිසිදු ප්‍රතිචාරයක් හිමි නොවුණු බවද හන්තාන සුරැකීමේ සංවිධානයේ ප්‍රධාන ලේකම්වරයා කීවේය.

පරිසර ආරක්ෂිත කලාපයක් වශයෙන් හදුන්වන හන්තානේ ඉඩම් අලෙවි කිරීමේ අරමුණෙන් ඇතැම් පිරිස් විසින් විටින් විට මෙහි ගිනි තැබීම් කරන බවත් එවිට එම ප්‍රදේශය ශාකවලින් තොර මුඩු ඉඩමක් බවට පත්වීම නිසා ඉඩම් අලෙවි කිරීමට හැකි නීතිමය අවසරය රජයෙන් හිමි කර ගතව හැකි යැයි ඒ මහතා කීවේය.

පොලිසියේ හදිසි ඇමතුම් ඒකකය සිදුකළ ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවාදැමීමට හැකිවුණු බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

(LNW)