Saturday, October 26, 2024
Follow Us
ප්‍රබල ගණයේ අපරාධකරුවන් රඳවා ඇති බන්ධනාගාරයක තත්ත්වය හෙළිවේ

බූස්ස බන්ධනාගාරයේ පිවිසුම් ස්ථානවල භාවිත කෙරෙන ජංගම දුරකතන හඳුනාගැනීමේ ආරක්‍ෂක උපකරණ වසර දෙකක් පමණ තිස්සේ අකී‍්‍රය වී තිබෙනවා. ඒ වෙනුවට නව උපකරණ ලබාදීමට හෝ අකී‍්‍රය වූ ආරක්‍ෂක උපකරණ අලූත්වැඩියා කිරීමට මෙතෙක් පියවර ගෙන නැහැ.

මේ නිසා ඇතැම් පිරිස් උපක‍්‍රමශීලිව ජංගම දුරකතන බන්ධනාගාරය තුළට රැගෙන යන බවයි හඳුනාගෙන තිබෙන්නේ. CCTV පද්ධතියක් සවිකර තිබුණද සිරුර තුළ සඟවා ගෙන හෝ එවැනි වෙනත් ක‍්‍රම මගින් රැගෙන යන ජංගම දුරකතන එමගින් හෙළිකර ගැනීමට නොහැකි බව බන්ධනාගාර නිලධාරීන් පැවසුවා.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවුවන් ගණන 430 කට වැඩියි. ප‍්‍රබල ගණයේ අපරාධකරුවන් බවට සැලකෙන 16 දෙනෙකුද ඒ අතර වනවා. කුප‍්‍රකට මත්කුඩු ජාවාරම්කරුවන් වන වෙලේසුදා සහ කංජිපානි ඉම්රාන්, උරුජුවා සහ පොට්ට නවුෆර් ඒ අතරින් කිහිප දෙනෙක්.

කංජිපානි ඉම්රාන් රඳවා සිටින සිර මැදිරියේ තිබී ද ඉකුත්දා ජංගම දුරකතනයක් සොයා ගැණුනු අතර පසුව නිලධාරීන් තුන් දෙනෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගැණුනා.

කෙසේවෙතත් ජංගම දුරකතන හඳුනා ගැනීමට උපකරණ ලබා නොදී බන්ධනාගාරය තුළ තිබී ජංගම දුරකතන හමුවීම සම්බන්ධයෙන් නිලධාරීන්ගේ වැඩ තහනම් කිරීම අසාධාරණ බවයි බන්ධනාගාර නිලධාරීන් නෙත් නිවුස් වෙත පැවසුවේ.

මෙම අසාධාරණය හේතුවෙන් බොහෝ නිලධාරීන් අසනීප නිවාඩු වාර්තාකර රාජකාරී මගහැර සිටීමටද පෙළඹී සිටින බවද නෙත් නිවුස් කළ සොයා බැලීමේදී හෙළි වුණා.

(Neth)