Saturday, October 26, 2024
Follow Us
පොලිසිය කිව් කතාව බොරු. රංජන් අත්අඩංගුවට ගත්තේ හඬපට නිසා - රජයේ මාධ්‍ය ප්‍රකාශක

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා අත් අඩංගුවට ගත්තේ ඔහුගේ ගිනිඅවි බලපත්‍රය කල් ඉකුත්වීම නිසා බවට පොලිසිය කළ ප්‍රකාශය අසත්‍ය බවත් ඔහුව සැබැවින්ම අත් අඩංගුවට ගත්තේ පසුගිය ආණ්ඩු සමයේදී තමන් ඇතුළු යම් යම් පුද්ගලයින් අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් සිදුකළ දුරකථන සංවාද ඇතුළත් සී.ඩී. තැටි කිහිපයක් නිසා බවත් ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්දානද අලුත්ගමගේ මහතා පවසයි.

ඔහු සතුව තිබී අත් අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති එම සී.ඩී. තැටිවල ඇතුළත් දුරකථන සංවාදවලට තමන් ද සවන් දුන් බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

"දැන් රංජන් රාමනායක මන්ත්‍රීතුමා අත් අඩංගුවට ගන්නකොට ප්‍රවෘත්තිවල යනවා බලපත්‍ර නැති ගිනිඅවියක් ළඟ තිබුණු නිසා එතුමා අත් අඩංගුවට ගත්තා කියලා. ඒක බොරු. ඒ පොලිසිය දුන්න ප්‍රකාශය සම්පූර්ණ වැරදියි.

අපට ලැබුණා තොරතුරක්, එතුමාගෙ තියෙනවා ජංගම දුරකථන දෙකක්. මේ ජංගම දුරකථන දෙකේ පහුගිය කාලෙ කතා කරපු දුරකථන සංවාද 121,000ක් පටිගත කරපු සී.ඩී. තැටි කිහිපයක් එතුමාගෙ නිවසේ තියෙනවා කියලා තොරතුරු ලැබුණා. මේ තොරතුරු අනුව අධිකරණය වරෙන්තුවක් අරගෙන ගිහිල්ලා මේක ගත්තා. මේ, සී.ඩී. ටික සී. අයි. ඩී. එකට ඊයෙ ගෙනාවා. මේකෙ තියෙන එව්වා අපි ඇහුවා !

රංජන් රාමනායක මහත්තයා ජංගම දුරකථනෙන් කාටද කතා කරලා පටිගත කරලා තියාගෙන ඉන්නෙ ? සී.අයි.ඩී. එකේ අයි.පී. නිශාන්ත සිල්වා මහත්තයට. කතා කරලා කියනවා 'මහින්දානන්ද අලුත්ගමගේ අත් අඩංගුවට ගත්තා හරිද ? දැන් ලෑස්තිද ෆයිල් එක ? කොයි නඩුකාරයාටද දාන්නෙ ? නඩුකාරයාගෙ කාමරේ අංකෙ මොකද්ද ? නඩුකාරයාගෙ නම මොකද්ද ? ඔයා ගෙනියන්න මං දැන් නඩුකාරයාට කතා කරනවා'. මෙයා ඊළඟට නිශාන්ත සිල්වාට කියනවා 'මං දැන් එවනවා කෙනෙක්, ෆයිල් එකේ පිටපතක් මට එවන්න, මම මේක ප්‍රවෘත්ති සාකච්ඡාවෙදි ගන්නවා'. නිශාන්ත සිල්වා සී.අයි.ඩී. එකෙන් ෆයිල් එක පල්ලෙහාට එවනවා. රංජන් ඒක අරගෙන යනවා.

ඊළඟට ශානි ඔබේසේකර. සී.අයි.ඩී. එකේ ඩී.අයි.ජී. මහත්තයට රංජන් කතා කරනවා. කතා කරලා කියනවා 'රණවිරුවො ටික හිරේ දාන්න ඕනෙ, මොකද කරන්නෙ ? මොකද්ද දාන උසාවිය ? මොකද්ද නඩු අංකය ? මට කියන්න'. එතකොට ශානි ඔබේසේකර මට කියනවා, මෙන්න මේ අධිකරණයට අපි දානවා. ඔබතුමා මෙන්න මේ නඩුකාරතුමියට කතා කරන්න කියලා. ඒ නඩුකාරතුමියගේ නම කියනවා. නඩුකාරතුමියට කතා කළා කියනවා. ඒවිතරක් නෙවෙයි රංජන් රාමනායක හිටපු ජනාධිපතිතුමා ගාවට යනවා. එතුමා ගාවටත් ගිහින් කෝල් එකක් ගන්නවා අධිකරණයේ ඉහළ කෙනෙකුට. එතුමට කියනවා ජනාධිපතිතුමා ඉන්නවා, මෙන්න කතා කරන්න කියලා. ' යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

එසේම හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ද මෙසේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් කිරීමට හවුල් වී ඇති බව පැවසූ ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා 'ඒ ගෙදෙට්ට ගියාම එතුමාගෙ ගිනිඅවියෙ බලපත්‍රයක් නැතුව තිබුණා. මේ අපේ පොලිසියටත් මොළේ නෑනෙ. පොලිසියත් ඉතිං යන්නෙ වෙන එකක්, කරන්නෙ තව දෙයක්. පොලිසිය ගියෙ සී.ඩී. එක අත් අඩංගුවට ගන්න. කෙහෙල්මල් පිස්තෝලයක් අල්ලගෙන ටී.වී. එකට පෙන්නුවා. දැන් රට හිතන්නෙ මේ බලපත්‍ර නැති හින්දා රංජන් අත් අඩංගුවට ගත්තා කියලා. නෑ ! රංජන් අත් අඩංගුවට ගන්නෙ බරපතළ කුමන්ත්‍රණයක් පිළිබඳව. අධිකරණයට, සී.අයි.ඩී. එකට, විනිසුරුවරුන්ට බලපෑම් කිරීම. අපෙ හාමුදුරුවනේ මුංටනෙ අපි මේ අවුරුදු හතර හමාරක් මේ රට කරන්න දුන්නෙ" යනුවෙන් ද ප්‍රකාශ කළේය.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව පැවසුවේ ඊයේ (05) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

(LNW)