Saturday, October 26, 2024
Follow Us
යහපාලනයෙන් පළිගැනීමට ලක් වූ රාජ්‍ය සේවකයන් ගැන සොයන්න කමිටුවක්!

යහපාලන රජය සමයේ දරුණු පළිගැනීම්වලට ලක් වූ රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා සේවකයන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාල කැබිනට් පත්‍රිකාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (02) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කළ අතර ඒ සඳහා අනුමැතිය හිමිව තිබේ.

පසුගිය රජය සමයේ රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල හා සංස්ථා සේවකයන් විශාල ප්‍රමාණයක් පළිගැනීම්වලට ලක්ව ඇති බවයි කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ. එම ඇතැම් නිළධාරීන් කිසිදු චෝදනාවක් නොමැතිව නීතිය හමුවට පමුණුවා ඇති බවත්, ඇතැම් නිළධාරීන්ගේ තනතුරු කිසිදු සාධාරණ චෝදනාවක් නොමැතිව අහිමි කර ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

මෙම පළිගැනීම් සම්බන්ධ පැමිණිලි එකතු කිරීම සඳහා වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කරන සමයේදී විපක්ෂ නායක කාර්යාලයේ විශේෂ ඒකකයක් පිහිටුවා තිබූ අතර ඒ සඳහා පැමිණිලි රැසක් ලැබී තිබේ.

වත්මන් රජය යටතේ පිහිටුව කමිටුව හමුවේ අදාල පැමිණිලි විභාගයට ගැනීමට නියමිත අතර එහිදී අසාධාණයට ලක් වූ සේවකයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට නියමිතය.

හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජගත් බාලපටබැඳි මහතාගේ සභාපතිත්වයෙන් අදාල කමිටුව පත් කිරීමට නියමිතය.

(LNW)