Saturday, October 26, 2024
Follow Us
ඝෝෂාකාරී සංගීතය නවත්වන්න දින 15ක සහන කාලයක්

සියලුම බස් රථවල මහජනතාවට හිංසා වන අයුරින් වාදනය කෙරෙන ගීත තැටි හා වීඩියෝ පට ප්‍රදර්ශනය නැවැත්වීම සඳහා ජනවාරි මස 15 තෙක් කල් ලබා දෙන බව ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර සිටිනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා කියා සිටියේ එම කාලය ලබා දෙන්නේ ජාතික ගමනාගමන කොමිසම විසින් සකස් කර තිබෙන ගීත තැටි ලබා ගැනීමට අවශ්‍ය කාලයක් සියලුම බස් රථ රියදුරන්ට ලබා දිය යුතු නිසයි. ජනවාරි 15 වෙනිදායින් පසුව බස් රථවල ඝෝෂාකාරී සංගිතය නවත්වන ලෙස මම සියලුම රියදුරන් ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. ඒ වගේම ඉන්පසුව එම පියවර නියාමනය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවාහණ කළමනාකරණ, විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මෙම අදහස් පළ කළේ ඊයේ (31) පස්වරුවේ මාකුඹුර බහුවිධ ප්‍රවාහණ මධ්‍යස්ථානයේ දී පැවැති උත්සවයක් අමතමින්.

මගී බස් රථවල අධික ශබ්දයෙන් යුතුව වාදනය කෙරෙන ගීත වෙනුවට සරළ සුභාවිත ගිත සමුච්ඡයක් ජාතික ගමනාගමන කොමිසම විසින් හඳුන්වා දී ඇති අතර එම ගීත සමුච්ඡය බස් රථ හිමියන් ට හා රියදුරන් වෙත පිලිගන්වමින් අමාත්‍යවරයා මේ අදහස් පළකලා.

අපි මෙම තීරණය ගත්තේ මගී ජනතාවගෙන් ඉදිරිපත් වූ පැමිණිළි සලකා බළලායි. මගී ජනතාව අපිට කිව්වේ අපිට සින්දු එපා අපේ පාඩුවේ මේ කන්දොස්කිරියාවක් නැතිව නිවී සැනසිල්ලේ යන්න දෙන්න කියළයි. ඒ සමගම අපි ජාතික ගමනාගමන කොමිසම විසින් තීරණය කළා දැන් වාදනය වන කසිකබල් සින්දු වෙනුවට මිනිසුන්ට හරවත් ගීත නිවී සැනසිල්ලේ අහන්න අවස්ථාවක් ලබා දෙන්න.

ඒ අනුව තමයි මෙම අවස්ථාව උදා කර තිබෙන්නේ. අපි මෙම වැඩ පිළිවෙළ කිසිසේත්ම නීතියක් විදියට ක්‍රියාත්මක කරන්න කැමැති නැහැ. රියදුරු මහත්වරු තුළ ආකල්පයක් ඇති කර ගත යුතුයි අපි මේ කරන්නේ මහජනතාවට හිංසාවක් කියළා. එමනිසා මානුසිකත්වයෙන් සළකා බලා මේ මහ හඩින් ගීත වාදනය කිරීමේ වැරදි ප්‍රවේශය නවත්වන ලෙස මම සියලුම සහෝදර රියදුරු මහත්වරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

බස් රථය පදවන රියදුරු මහතා මෙන්ම කොන්දොස්තර මහතාත් වැදගත් චරිත දෙකක්. ඒ අය මහජනතාවට ලබා දෙන්නේ විශාල සේවාවක්. බස් රථ ධාවනය කරන රියදුරු මහත්වරු හා කොන්දොස්තර මහත්වරු සම්බන්ධයෙන් මගි ජනතාව හිතන්නෙත් කරදරකාරයින් පිරිසක් විදියට. ඒක වැරදියි. අපි මහජනතාව විදියටත් එම පිරිස දෙස යහපත් ආකල්පයකින් ප්‍රතිචාර දැක්විය යුතුයි.

සමහර කොන්දොස්තර මහත්වරු මට කියළා තියෙනවා සමහර මගීන් බස් රථයට ගොඩ වෙන්නෙම ආරවුලක් ඇති කර ගැනීමට මාන බලමින්. ලගින් ගියත් වැරැද්දක් අල්ලාගෙන අඩදබර ඇති කර ගන්නවා. අපි හැමෝම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට ගරු කළ යුතුයි.

අපි අද ලබා දෙන මෙම ගීත දෙන්නේ නිකම් ඉන්න බැරුවට නෙමෙයි. මේ වැඩ පිළිවෙළේ විශාල අර්ථයක් තියෙනවා. ජනාධිපතිතුමන් විසින් අලුත් රටක් ගොඩනැගීම සඳහා ගෙන යන වැඩ පිලිවෙළ තුළ අපගේ මගී ප්‍රවාහන පද්ධතිය නව මුහුණුවරකින් සකස් විය යුතුයි. රටක් සංවර්ධනය වන්නට නම් ප්‍රධාන වශයෙන් ප්‍රවාහන සේවාවන් විදිමත් විය යුතුයි.

අපේ ප්‍රවාහන සේවාවන් විදිමත් කිරීමේ වැඩ පිළිවෙළක් අපි රජය වශයෙන් ආරම්භ කර තිබෙනවා. අද අපි ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා කළා.එතුමා කිසිවිටෙක අල්ලසට, දූෂණයට, වංචාවට ඉඩ දෙන්නේ නෑ. කිසියම් රාජ්‍ය සේවකයෙක් වංචා හා දූෂණවලට හවුල් වුනොත් නැවත රාජ්‍ය සේවයට ඇතුළත් වීමට කිසි විටෙක නොහැකි වන අයුරින් නිති සංශෝධනය කළ යුතු බව එතුමා පැවසුවා.

ඒ නිසා නව රටක් බිහි කිරීමට අපි ආරම්භ කර ඇති වැඩ පිළිවෙළට සහයෝගය දක්වන ලෙස අපි සියලුම රියදුරු මහත්වරුන්ගෙන් මෙන්ම කොන්දොස්තර මහත්වරුන්ගෙන් ඉල්ලනවා.

(Neth)