Saturday, October 26, 2024
Follow Us
ලංකා ලූණු නැත්තෙ ඇයි ? – ජනාධිපතිට ප්‍රශ්නයක්

තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ ‘ලංකා ලොකු ලූණු’ අලෙවියට නොතිබීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රශ්නකර තිබේ.

විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල සංචාරය කරමින් පාරිභෝගික ද්‍රව්‍ය සම්බන්ධ ගැටලුවට මැදිහත්වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගියදා තඹුත්තේගම විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේදී ලූණු මිල සම්බන්ධයෙන් විමසීමක් කර තිබුණි. එහිදී අලෙවියට තබා ඇති ලොකු ලූණු කුමන රටේ නිෂ්පාදනදැයි විමසා සිටි ජනාධිපතිවරයා ඒවා පාකිස්ථානයෙන් ආනයනය කළ ලොකු ලූණු බව දැනගැනීමෙන් පසුව ලංකා ලොකු ලූනු මෙහි නැත්තේ ඇයිදැයි ප්‍රශ්නකර ඇත.

එහිදී වෙළඳ සහායකයකු විසින් පවසා ඇත්තේ ලංකා ලොකු ලූනු මේ වනවිට වෙළඳපොළේ නොමැති බවයි. එයින් අතෘප්තියට පත් ජනාධිපතිවරයා එය එසේ නොවිය යුතු බවද ආනයනික ලොකු ලූනු මෙන්ම ලංකා ලොකු ලූනුද අලෙවියට තැබීමට කටයුතු කළ යුතු බවද අවධාරනයකර තිබේ. කෙසේවෙතත් ලංකාවේ ලොකු ලූනු වගාකරන දඹුල්ල ප්‍රදේශයේ ජනතාව ලොකු ලූනු වගාව සම්බන්ධ විශාල ගැටලු ප්‍රමාණයකට මුහුන දී සිටින අතර අස්වනු නෙලන කාලයට ඒවා සාධාරණ මිලකට අලෙවිකර ගැනීමේ ගැටලුව ඉන් ප්‍රධාන වේ. ජනාධිපතිවරයා ලංකා ලොකු ලූනු සම්බන්ධ ප්‍රශ්නකරන විට කිසිවකු විසින් පැහැදිලි කරදිය යුතු වූ කරුණ වූයේ ලංකා ලොකු ලූනු වවන සීමිත ප්‍රමාණය නිසා කාලයකදී එය වෙළඳපොළට පැමිණෙන නමුත් පසුව වෙළඳපොළේ හිගවන බවය. විශාල වශයෙන් ලංකාවේ ලොකු ලූනු වගාකර සෑම කාලයකම පාරිභෝගික ඉල්ලුමට සරිලන සැපයුමක් කරන්නට නම් ලොකු ලූනු වගාව තවදුරටත් සංවර්ධනය කිරීම මෙන්ම ගබඩා පහසුකම් ඇති කිරීම කළ යුතු වේ.

(Lanka Leads)