Saturday, October 26, 2024
Follow Us
දේශපාලකයින්ට රට විකුණන්න බෑ. නොරොච්චෝලේ වසා දමා විකල්ප කරා යන්න - කාදිනල් හිමි

දැඩි පරිසර හානියක් සිදු කරන නොරොච්චෝලේ ගල් අඟුරු විදුලි බලාගාරය වසා දමා ඒ වෙනුවට විකල්ප බලශක්ති ක්‍රමවේද කරා යොමුවන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් ඉල්ලා සිටී.

බලශක්ති අර්බුදයට විසඳුම ගල් අඟුරුද - මැයෙන් ඊයේ (30) කොළඹදී පැවති සම්මන්ත්‍රණයක් අමතමින් එහිමියන් මේ බව ප්‍රකාශ කළේය.

"නොරොච්චෝලේ බලාගාරය ස්ථාපිත කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලෙදි. අපි විරුද්ධ වුණා ඒවෙලාවෙත්. අපි විරුද්ධ වුණාට දේශපාලන ස්ථරයේ කට්ටිය කොහොම හරි ඒක හැදුවා. දැනටමත් එයින් සිදුවේගෙන යන විනාශය අමුතුවෙන් කතා කරන්න ඕනෙ නෑ.

ඒක ඇතුළේ තවත් වැඩිපුර මෙගාවොට් 600ක් ඇතුළු කරන්න සැලසුම් සකස් කරලා තිබුණා ගියපාර රට පාලනය කරපු ආණ්ඩුව.

අපේ දේශපාලන නායකයින්ට එහෙම අයිතියක් නෑ තීරණය කරන්න. ඇමතිතුමා මාත් එක්ක තරහා වෙන්න එපා මෙහෙම කිව්වට, මේක යම් ආකාරයක ඔබතුමන්ලා කන්ඩෙම් කිරීමක් නෙවෙයි. නමුත් ඇත්ත වශයෙන්ම දේශපාලන නායකත්වයට රට විකුණන්න බෑ. එහෙම අයිතියක් නෑ සාධාරණව ! එතකොට රට පාවා දෙන්නත් බෑ වෙනත් අයට.

ඉතිං මේ වැඩපිළිවෙල නතර කරන්න කියලා මම ඉතාමත්ම ඕනෑකමින් ඉල්ලා සිටිනවා අපේ ජනාධිපතිතුමාගෙන් සහ ඇමතිතුමාගෙන්. නොරොච්චෝලේ බලාගාරය වහලා දාන්න පුළුවන් නම් ඒ තරමට හොඳයි. ඒ වෙනුවට විකල්ප ක්‍රමවේද තුළින් අවශ්‍ය විදුලිබලය ලබාගන්නට කටයුතු කරන්න" යනුවෙනුයි එහිමි සඳහන් කළේ.

(LNW)