Saturday, October 26, 2024
Follow Us
රාජිතට සුදු වෑන් රියැදුරෝ හොයල දුන්නේ දැරණියගල යූ.එන්.පී. සංවිධායක

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට මඩ ගැසීමේ අරමුණින් රාජිත සේනාරත්න විසින් රඟ දැක්වූ සුදු වෑන් නාටකයේ රියැදුරන් ලෙස වෙස් වලාගෙන පැමිණි පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදී සත්‍ය තොරතුරු මේ වන විට එළි වෙමින් පවතින නිසා මෙම ක්‍රියාවට සම්බන්ධ රාජිත සේනාරත්න මහතා ඇතුළු සියලුම පිරිස් කඩිනමින් අත්අඩංගුවට ගත යුතු බව හිටපු සබරගමුව පළාත් සභා මන්ත්‍රී අජිත් ශාමින්ද පවසයි. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දැරණියගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු මෙසේ කීය.

‘‘පසුගිය ජනාධිපතිවරණ සමයේ ගෝඨාභය රාජපක්ෂට තිබූ ජනමතය වෙනස් කරන්න රාජිත සේනාරත්න විසින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාවේදී පුද්ගලයන් දෙදෙනකු වෙස් වලාගෙන පැමිණ විවිධ ප්‍රකාශ නිකුත් කළා. දැන් වන විට ඔප්පු වෙමින් පවතිනවා එම මාධ්‍ය සාකච්ඡාව ව්‍යාජ ලෙස ගොතපු මාධ්‍ය සාකච්ඡාවක් කියලා. මේ සඳහා මේ පුද්ගලයන් දෙදෙනා රාජිත ඇමැතිතුමාට සම්බන්ධ කරලා තියෙන්නේ දැරණියගල එක්සත් ජාතික පක්ෂ සංවිධායකවරයා හා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කියන එක. ඒ අයගේ කට උත්තරයේ සඳහන් වෙලා තියන එක මුද්‍රිත මාධ්‍යවල සඳහන් වී තිබුණා.

මෙම සංවිධායකවරයාට සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න විසින් රෝහල්වල සායනික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ ටෙන්ඩරය ලබා දී එයට ප්‍රතිඋපකාරයක් වශයෙන් රාජිත සේනාරත්න මහතාට මෙම සුදු වෑන් රියැදුරන් යැයි කියා ගත් පුද්ගලයන් දෙදෙනා සොයා දී තියෙනවා.

 

පසුගිය කාලය පුරා දැරණියගල ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සායනික අපද්‍රව්‍ය තැන් තැන්වල දමා යෑම පිළිබඳව මාධ්‍ය මගින් දැක ගැනීමට හැකි වුණා. දැරණියගල ප්‍රදේශයේ එසේ දමා යෑමට තැත් කිරීමේදී ප්‍රදේශයේ ජනතාව හා ජනතා නියෝජිතයන් විසින් අල්ලා පොලිසියට භාර දුන්නා. පසුව එම කසළ රැගෙන එන ලද ටිපර් රථයේ රියැදුරුගෙන් ප්‍රශ්න කිරීමේදී දැන ගන්නට ලැබුණා. මෙම අපද්‍රව්‍ය දැරණියගල එ.ජා.ප සංවිධායක විසින් රෝහල් වලින් ලබා ගත් කසළ තොගයක් බවට. මේවා පිළිබඳව විධිමත් ලෙස පරික්ෂණයක් සිදු නොවී ඇති බැවින් නැවතත් ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස පොලිසියෙන් ඉල්ලා සිටිනවා.

(Lanka Leads)