Saturday, October 26, 2024
Follow Us
පාඨලීගේ රිය අනතුර ගැන හිටපු පොලිස්පතිගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණයෙන් අවසර

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා විසින් 2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී සිදුකළ බව කියන රිය අනතුරු සිද්ධිය පිළිබඳව දැනට රිමාන්ඩ් භාරයේ පසුවන අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබා දී ඇත.

ඒ අනුව මම මස 26 වනදා සිට 30 වනදා දක්වා කාලසීමාව තුළ බන්ධනාගාරය තුළදී අදාළ ප්‍රකාශ සටහන් කිරීම සඳහා රහස් පොලිසියට පහසුකම් සලසා දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය විසින් බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ දැනට රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ නමද අනාවරණ වූ බව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අධිකරණය හමුවේ කළ ඉල්ලීම සඳහන් කර තිබේ.

එම නිසා මෙම මස 26 වනදා සිට 30 වනදා දක්වා කාලසීමාව තුළ හිටපු පොලිස්පතිවරයාගේ ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවසර දෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නෙවිල් සිල්වා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරිය අදාළ දිනයන්හි රිමාන්ඩ් භාරයේ පසුවන පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම සඳහා අවසර දෙන ලෙස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කර ඇත.

(Aruna)