Saturday, October 26, 2024
Follow Us
සතොස රුපියල් 70ට ගත් රතු කැකුළු සහල් අසාධාරණ ලෙස 84ට විකුණනවා - නාමල්

සහල් මෝල් හිමියන්ගෙන් රුපියල් 70 බැගින් මිලට ගත් රතු කැකුළු සහල් කිලෝවක් සතොස ආයතනය මේ වනවිට රුපියල් 84 බැගින් විකුණමින් සිටින බවට සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා චෝදනා කරයි.

රුපියල් 75ට අඩුවෙන් රතු කැකුළු සහල් කිලෝවක් වෙළඳපොලට නිකුත් කිරීමේ හැකියාවක් සතොස ආයතනය සතුව පවතිද්දී ඔවුන් මෙම අසාධාරණ ක්‍රියාවෙහි නිරත වන බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.

"මේ සමූපකාරය සතොසෙන් අරන් තියෙනවා රුපියල් 84ට රතු කැකුළු. දැන් මේගොල්ලො විකුණනවා රුපියල් 88ට. අපි කියනවා පාරිභෝගික අධිකාරියට සහ පොලිසියට, මේක අසත්‍යයක් නම් අපට නඩු දාන්න. සතොසට ඔය හාල් ගත්තෙ රුපියල් 70ට !

රජයේ වී තොග සහල් කෙරුවා මෝල් හිමියො ලව්වා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සම්බන්ධීකරණය යටතේ. ඒ අනුව සතොස ගබඩාවලට එම සහල් එම මෝල් හිමියො වික්කෙ රුපියල් 70ට. කොටින්ම ගත්තොත් රුපියල් 75ට වඩා අඩු මිලකට සතොස හරහා සහල් කිලෝ එක පාරිභෝගිකයාට දෙන්න පුළුවන්කම තියෙනවා.

අපි පාරිභෝගික අධිකාරියට කියනවා රුපියල් 70ට ගත්තු හාල් කිලෝ එක රුපියල් 84ට සතොස විසින් විකිණීම අසාධාරණයි, අන්න ඒවා වහාම වටළන්න" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය.

නාමල් කරුණාරත්න මහතා මේ බව පැවසුවේ ඊයේ (22) වාරියපොළ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

(LNW)