Saturday, October 26, 2024
Follow Us
බදු සහන දුන්නත් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිය තවමත් වැඩි මිලට

වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධනය කරමින් රජය සහන ලබාදුන්නද සිමෙන්ති හැර සෙසු ගොඩනැගිලි ද්‍රව්‍යවල මිල තවමත් අඩුවී නැතැයි නෙත් නිවුස් කළ වෙළදපොළ නිරීක්‍ෂණයකදී දැන ගන්නට ලැබුණා. ඒ පිළිබඳ කළ විමසීමකදීයි ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිකරුවන් පැවසුවේ නිෂ්පාදකයන් තවමත් ඔවුන්ගේ නිෂ්පාදන තමන් වෙත ලබාදෙන්නේ පැරණි මිලටම බවයි.

ඒ නිසා බදු සංශෝධනයෙන් ලැබුණු සහනය පාරිභෝගිකයන්ට ලබාදීමට නොහැකි වී ඇතැයි ද ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිකරුවන් පැවසුවා.

නෙත් නිවුස් වාර්තාකරුවන්ට වෙළදපොලේදී හමු වූ තවත් ගොඩනැගිලි ද්‍රව්‍ය අළෙවිකරුවෙකු කියා සිටියේ සිමෙන්ති මිල අඩු කිරීමේ වාසියද පාරිභෝගිකයන්ට එලෙසින්ම ලැබී නොමැති බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර වෙළද සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපාගෙන්ද විමසීමක් කළා.

එහිදී හෙතෙම සඳහන් කළේ අඩුවෙන කාණ්ඩවල මිල සම්පූර්ණයෙන්ම භාණ්ඩ වශයෙන්ම ඉදිරිපත් කරන්නැයි පාරිභෝගික කටයුතු අධිකාරියට දැනුම් දී ඇති බවයි.

වැට් බද්ද මීට පෙර පැවතියේ සියයට 15 ක් ලෙසයි. ජාතිය ගොඩනැගීමේ බද්ද සියයට 2 ක් වුණා. එම බදු වර්ග දෙකම ඒකාබද්ධ කර සියයට 8ක වැට් බද්දක් පමණක් අය කිරීමටයි රජය ඉකුත්දා තීරණය කළේ. බදු ගෙවිය යුතු ආදායම් සීමාවද ඉහළ නැංවුණා.

(Neth)