Thursday, October 24, 2024
Follow Us
රටේ වත්මන් තත්ත්වය ගැන විශේෂ පැහැදිලි කිරීමක්

මෙරටට පැමිණි විදෙස් සංචාරකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු සියලු ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

රටේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේදී අද (24) මෙම විශේෂ මාධ්‍ය හමුව පැවැත්විණි.


‍මේ පිළිබඳව බුද්ධි අංශවලට තොරතුරු ලැබුණා අතර එම තොරතුරු ලැබීමත් එක්ක අපි වහාම ක්‍රියාත්මක වූ බවත් අදට හරියටම ආණ්ඩුව බලයට පත්වෙලා මාසයක් ගත වන අතර මාසය තුළ ආරක්ෂක මණ්ඩලය අවස්ථා කිහිපයකදීම රැස්වූ බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ අමාත්‍යවරයා,

"තොරතුරු ලැබීමත් සමග විදෙස් සංචාරකයන් වැඩිපුර ගැවසෙන ආරුගම්බේ, ඇල්ල, මාතර වැලිගම, අහුන්ගල්ල වැනි සංචාරකයින් වැඩිපුර ගැවසෙන ප්‍රදේශවලට විශේෂ පොලිස් ආරක්ෂාවක් ලබාදුන්නා. එම පොලිස් ආරක්ෂාව මේ මාසේ මුල ඉදලම යොදවන්න කටයුතු කරලා තියෙනවා. ආරක්ෂක මණ්ඩලය තුළ මේ තොරතුරු ගැඹුරින් සාකච්ඡා කළා. බුද්ධි අංශත් පොලීසියත් මගින් පරීක්ෂණ කටයුතු ආරම්භ කළා. සැකපිට තොරතුරු මත පදනම්ව තුන්දෙනෙක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා යනුවෙන් පැවසීය.


මෙරටට පැමිණි සංචාරකයින් මේ සම්බන්ධයෙන් කිසිදු අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැතැයිද අමාත්‍යවරයා පැවසීය. මේ සම්බන්ධයෙන් තොරතුරු කල් ඇතිව ලැබුණද එම තොරතුරු තහවුරු කර ගැනීමට සහ ජනතාව තුළ අනවශ්‍ය භියක් ඇතිවීම වැළැක්වීම සඳහා මේ සම්බන්ධයෙන් කල් ඇතිව දැනුවත් නොකළ බවත් එතෙක් ගතයුතු සියලු ආරක්ෂක ක්‍රියාමාර්ග රජය ගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම තත්වය උපයෝගී කරගෙන අනවශ්‍ය දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ නොකරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.


"අපි වගකිවයුතු රජයක් ලෙස ගතහැකි සියලු ආරක්ෂක පියවරක්ම මේ වෙනකොට අරගෙන තිබෙනවා. ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා විවිධ කටකතාවලට රැවටෙන්න එපා කියලා. තව දින කිහිපයක් තුළ මේ තත්ත්වය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කරනවා. එවිට විදෙස් රටවල් කිහිපයකින් ලබාදී තිබෙන අවවාදාත්ම නිවේදන ඉවත් කරගන්න පුළුවන්. ඒ අය දැනටමත් සෑහීමකට පත්වෙලා තිබෙනවා අපි ගත්ත ක්‍රියාමාර්ග පිළිබඳව. ඒ නිසා ඒ අයගේ පැත්තෙන් විශ්වාසයක් ඇතිවෙලා තිබෙනවා තමන්ගේ රටේ පුරවැසියන් සංචාර සඳහා මෙරටට එවන්න. සංචාරකයින්ගේ පැමිණීමේ නැවතීමක් සිදුවෙලා නැහැ. පැමිණිලා ඉන්න අයත් නිදහස්ව කටයුතු කරගෙන යනවා."