Saturday, October 26, 2024
Follow Us
යන එන අතරතුර දකින අඩුපාඩු ගැන ජනපති අවධානයෙන්

කළුබෝවිල රෝහල ඉදිරිපිට ගේට්ටුවට දෙපසින්ම රෝගින් බැලීමට පැමිණෙන පිරිස් නියමිත වේලාව පැමිණෙන තෙක් එහි රැඳී සිටිනවා. ඔවුන්ට එසේ රැදී සිටිමට සිදුව තිබුණේ දැඩි අව් රශ්මිය මධ්‍යයේ මෙන්ම ගමන් විඩාව මගහරවා ගැනීම සඳහා අසුන් ගැනීමටවත් පහසුකම් නොමැති තත්ත්වයක් යටතේයි.

මීට දින 03කට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කිසියම් කටයුත්තක් සඳහා ඒ අසළින් ගමන් කරන විට මේ බව නිරීක්ෂණය වී තිබුණා.

එහිදී ජනාධිපතිවරයා දෙහිවල-ගල්කිස්ස මහනගර සභාවේ හිටපු නගරාධිපති ධනසිරි අමරතුංගට මේ බව දන්වා ඇති අතර ඔහුගේ සම්බන්ධීකරණයෙන් සෞඛ්‍යය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, රෝහල් අධ්‍යක්ෂකවරයා සහ සෞඛ්‍යය අමාත්‍යාංශයේ ගොඩනැගිලි අංශයේ නිලධාරීන් මීට අදාළව කළුබෝවිල රෝහලේ නිරීක්ෂණයක යෙදුණා.

ඒ අනුව මේ වන විට එහි අසුන් ගැනීමට තාවකාලික පිළියමක් වශයෙන් යකඩ බංකු සවි කිරීමට පියවර ගෙන ඇති අතර අව් රශ්මියෙන් සහ වැස්සෙන් ආරක්ෂා වීමට හැකි වන පරිදි වහලයක් ඉදි කිරීමටද කටයුතු කරමින් සිටිනවා.

තවද රෝහලේ ඉදි වෙමින් පවතින තට්ටු 10කින් සමන්විත ගොඩනැගිල්ල පෙබරවාරි මාසය අවසන් වීමට පෙර ඉදිකිරීම් අවසාන කර හදිසි අනතුරු අංශය එම නව ගොඩනැගිල්ලට ගෙනයාමෙන් පසුව එම ස්ථානයේ රෝගීන් බැලීමට එන පිරිස් සඳහා ස්ථිර ඉදිකිරීමක් සිදුකිරීමටද මෙහිදී තීරණයකට එළඹ තිබෙනවා.

(Neth)