Saturday, October 26, 2024
Follow Us
කෘෂිකර්මය තිබුණු තැනටම, කෝටි දෙකේ බිල්ඩිම ජනපති නියමයෙන් අතහරී

පසුගිය යහපාලන රජය සමයේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වාගෙන යාම සඳහා කුළියට ගත් පෞද්ගලික ගොඩනැගිල්ල අතහැර දැමීමට රජය තීරණය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය පරිදි කෘෂිකර්ම අමාත්‍යංශය මීට පෙර පවත්වාගෙන ගිය බත්තරමුල්ල ගොවිජන කේන්ද්‍රය වෙත නැවත ගෙනයාමට නියමිතය.

මේ සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය වෙත කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබිණි.

කුළී පදනම මත ලබාගත් පෞද්ගලික ගොඩනැගිලිවල පවත්වාගෙන යන අමාත්‍යංශ සහ රාජ්‍ය ආයතන රජයේ ගොඩනැගිලිවලට ගෙනයෑමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙන අතර කෘෂිකර්ම අමාත්‍යංශය අදාල ගොඩනැගිල්ලෙන් ඉවත් කිරීමට තීරණය කර ඇත්තේ ද ඒ අනුවයි.

මෙම ගොඩනැගිල්ල කුළී පදනම මත ලබාගෙන තිබුණේ මසකට රුපියල් කෝටි දෙකක මුදලකටයි. 2016 වසරේදී ඊට අදාල ගිවිසුම් අත්සන් කළ නමුත් කෘෂිකර්ම අමාත්‍යංශය එම ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම සඳහා වසර දෙකකට වැඩි කාලයක් ගතවිය. අදාල කාලසීමාව තුළ නිකරුනේ ගොඩනැගිල්ල සඳහා මුදල් ගෙවීම මහජන මුදල් අපතේ හැරීමක් ‍බව පවසමින් යහපාලන රජයට චෝදනා එල්ල විය.

මේ වනවිට අදාල ගොඩනැගිල්ල සඳහා කෘෂිකර්ම අමාත්‍යංශය මගින් ගෙවා ඇති මුදල රුපියල් කෝටි 100 කට ආසන්න වේ.

 

(LNW)