Saturday, October 26, 2024
Follow Us
පුතුගේ විවාහ උත්සවයට සහභාගී වීමට පූජිත් ඇප ඉල්ලයි

සිය පුතුගේ විවාහ මංගල්‍යයට සහභාගී වීම සඳහා ඇප ලබාදෙන මෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ (17) කොළඹ මහාධිකරණයෙන් ඉල්ලීමක් කර තිබිණි.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් චෝදනා කරමින් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ඒ මහතා සිය නීතීඥයින් මඟින් ඇප අයදුම්පතක් ඉදිරිපත් කරමින් කොළඹ මහාධිකරණය වෙත ප්‍රකාශ කර තිබුණේ 2020 ජනවාරි 02 වනදා පෙරවරුවේ තම පුතුගේ විවාහ මංගල්‍යය කොළඹ ගංගාරාමයේදී පැවැත්වෙන බවත් ඊට අදාළ උත්සවයක් එදින පස්වරුවේ මීගමුවේදී පැවැත්වෙන බවත්ය.

ඒ අනුව ඊට සහභාගී වීම සඳහා තමන්ව ඇප මත නිදහස් කරන මෙන් ඒ මහතා ඉල්ලීම් කර තිබිණි.

මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට පැවසුවේ එවන් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ද එවන් නියෝගයක් නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් අතර එනමුත් එම ඉල්ලීම බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියම කළේය.

(LNW)