Saturday, October 26, 2024
Follow Us
සුදුවෑන් සිද්ධියට බන්ධනාගාරගතවූ දෙදෙනා ගැන නිලධාරීන්ගෙන් හෙළිදරව්වක්

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවකට පෙනී සිට සුදුවෑන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් ප‍්‍රකාශ සිදුකළ පුද්ගලයින් දෙදෙනාද කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ඊයේ (16) රාත්‍රියේ රැගෙනවිත් තිබෙනවා. ඒ, ඔවුන් දෙදෙනා ලබන 27 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය කළ නියෝගයෙන් පසුවයි.

බන්ධනාගාරයේදී තමන්ට විවිධ බලපෑම් සිදුවිය හැකි බවත් ඒ නිසා බන්ධනාගාරයේදී තමන්ට ආරක්‍ෂාව ලබාදෙන ලෙසත් මෙම පුද්ගලයින් දෙදෙනා අධිකරණයේදී ඉල්ලා සිිටියා. ඒ බව පිළිගත් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් දුන්නේ විශේෂ අවස්ථා ලබාදී ඔවුන් බන්ධනාගාරයේ රඳවන ලෙසයි. ඒ අනුව කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය වෙත රැගෙන ආ මෙම පුද්ගලයින් දෙදෙනා විශේෂ ගණයේ අපරාධකරුවන් රඳවා සිටින වාට්ටුවක වෙනම සිරමැදිරියක රඳවනු ලැබුවා.

මේ අතර මෙම පුද්ගලයින් දෙදෙනා මීට පෙරද බන්ධනාගාරගතව සිට ඇති බවයි බන්ධනාගාර ආරංචි පවසන්නේ. ඔවුන් අපරාධ රැසක සැකකරුවන් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනවලින් ද හෙළිවී තිබුණා.

මෙම පුද්ගලයින් දෙදෙනාගෙන් එක් අයෙකු ඇන්තනී ඩග්ලස් ප‍්‍රනාන්දු නමැත්තෙක්. අනෙක් පුද්ගලයා අතුල සංජීව මදනායක හෙවත් උන්ඩියල් අතුල නමැත්තෙකු වනවා.

2012 වසරේදී කොටහේන ප‍්‍රදේශයේදී මුදල් රැගෙන එමින් සිටි අයෙකුට පහරදී රුපියල් ලක්‍ෂ 10 ක් කොල්ලකෑම සහ කඳාන ප‍්‍රදේශයේ පුද්ගලික බැංකුවකින් මුදල් රැගෙන එමින් සිටි යුවලකට තියුණු ආයුධයකින් පහරදී රුපියල් ලක්‍ෂ 10 කට වැඩි මුදලක් කොල්ලකෑම ඔවුන් සම්බන්ධ බවට සැක කෙරෙන අපරාධ කිහිපයක්.

2013 වසරේදී ජා ඇල ප‍්‍රදේශයේ ඇගලුම් කම්හලක හිමිකරුවෙකුට ගිනි අවි පෙන්වා රුපියල් ලක්‍ෂ 75 ක් කොල්ලකෑම, පිටකොටුව, හෙට්ටිවීදියේ ස්වර්ණාභරණ අළෙවි සැලකින් රුපියල් කෝටි තුනහමාරක් වටිනා විදෙස් මුදල් හා රත්රන් කූරු කොල්ලකෑම යන අපරාධවලටද ඔවුන් සම්බන්ධ බවට සැක කෙරෙනවා.

බෙල්ලන්විල රජමහා විහාරස්ථානය අසලදී සිදු කෙරුණු මනුෂ්‍ය ඝාතනයකට සහ ගල්කිස්ස ප‍්‍රදේශයේදී මත්කුඩු ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමටද ඔවුන් සම්බන්ධ බවටයි සැක කෙරෙන්නේ.

මෙම පුද්ගලයින් දෙදෙනා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න සමග මාධ්‍ය හමුවකට පෙනී සිට ඇත්තේ එක් අයෙකුට රුපියල් ලක්‍ෂ 10 බැගින් කළ ගෙවීමක් යටතේ බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා වී තිබෙනවා. ප‍්‍රශ්නගත මාධ්‍ය හමුවේදී සුදුවෑන් පැහැර ගැනීම් සම්බන්ධයෙන් ඔවුන් කළ ප‍්‍රකාශ සත්‍යයෙන් තොර බව ද විමර්ශනවලදී හෙළි වූ බවයි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණයේදි කියාසිටියේ.

(Neth)