Saturday, October 26, 2024
Follow Us
ස්විස් සිද්ධිය දෙමළ ඩයස්පෝරාවේ වැඩක්?

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයත් කටයුතු කර තිබෙන්නේ දෙමළ ඩයස්පෝරාවට අවශ්‍ය ආකාරයෙන් බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පැවසුවේය.

ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේ 08) ඔහු පදිංචිව සිටින පන්නිපිටිය බෝගහවත්ත ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

ඔහුව ආරක්ෂක ලේකම්වරයා ලෙස පිගැනීමේ උත්සවය එලෙස සංවිධානය කර තිබුණි.

එල්.ටී.ටී.ඊ සංවිධානය හිස ඔසවන ආකාරයට දෙමළ ඩයස්පෝරාවද කටයුතු කරමින් සිටින බවයි කමල් ගුණරත්න මහතා කියා සිටියේ.

විශේෂයෙන් වැඩි අවධානයකට ලක්ව තිබෙන ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු පැවසුවේ පාස්කු ප්‍රහාරය ඇතිවීමට ප්‍රධානම හේතුව ලෙස තමන් දකින්නේ නොසැලකිලිමත්කම සහ නොදැනුවත්කම බවයි.

රටේ ජාතික ආරක්ෂාව යනු කුමක්ද, රටේ ජනතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් වූ වගකීම කුමක්ද යන්න නොදන්නා අය එම තනතුරුවලට පත්වීම මඟින් පැහැදිලිවන්නේ නොදැනුවත්කම බවයි ඔහු කියා සිටියේ.

මේ අතර එම උත්සව අවස්ථාවෙන් පසු මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ආරක්ෂක ලේකම්වරයා කියාසිටියේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සම්බන්ධ සිදුවීම සම්බන්ධයෙන් වන පරීක්ෂණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත එම නිලධාරිනියගේ නම හෝ ලබා දීමට තානාපති කාර්යාලය කටයුතු නොකළ බවයි.

"එම කාන්තාව ශ්‍රී ලංකා පුරවැසියෙක්. ශ්‍රී ලංකා පුරවැසියෙකුට ආරක්ෂාව සපයන එක ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය පිළිබඳ කටයුතු කරන ආරක්ෂක අංශවලට අයිති දෙයක්. ශ්‍රී ලංකා පුරවැසියෙක් පැමිණිල්ලක් කළාම එයාට යම්කිසි කරදරයක් වුණා කියලා අපේ යුතුකම සහ වගකීම තමයි ආරක්ෂක අංශ විදිහට නීතිය හා සාමය ක්‍රියාත්මක කරන ආයතන විදිහට ඒ ගැන පරීක්ෂණයක් කරන එක."

නමුත් මෙහිදී පරීක්ෂණ සඳහා තානාපති කාර්යාලය සහය නොදුන්නද පරීක්ෂණ මඟින් එම කාන්තාව කවුරුන්ද යන්න ඇතුළු සහ තවත් කාරණා සොයාගත් බවයි ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ.

(LNW)