Friday, October 25, 2024
Follow Us
සන්ධ්‍යා එක්නැළිගොඩ ගොනුකළ පෙත්සම සලකා බැලීමට දින දෙයි

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිර දඩුවම් ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ප්‍රධානය කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් මාර්තු මස 02 වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (05) දින නියම කළා.

මෙම පෙත්සම් ගොනු කර තිබුණේ අතුරුදහන් වූ මාධ්‍යවේදි ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ සහ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින්.

ඥාණසාර හිමියන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ හැසිරුණු ආකාරයෙන් අධිකරණයට අපහාස කිරීමක් සිදු වූ බවට අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබියදී ඥාණසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීම ව්‍යවස්ථා විරෝධී බවට පෙත්සම්කරුවන් පවසා සිටියි.

අද දින මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවූ අවස්ථාවේ වග උත්තරකරුවන් මේ වන විට වෙනස් වී ඇති බැවින් සංශෝධිත පෙත්සම් ගොනු කරන ලෙසට පෙත්සම්කරුවන්ට නියෝග කළා.

ඒ අනුව මෙම පෙත්සම් මාර්තු මස 02 වැනිදා සලකා බැලීමට දින නියම කරන ලදි.

(Neth)