Friday, October 25, 2024
Follow Us
ජනපති අතුළු ප‍්‍රභූ ඝාතනයකට සැලසුම් කළැයි ඇල්ලූ සැකකරු පැය 72ක් රඳවා ගැනීමට අවසර

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ කණ්ඩායමේ කවරකු හෝ ඝාතනය කිරීමට කුමන්ත‍්‍රණය කිරීම, ඒ සඳහා සූදානම් වීම සහ පෙලඹවීම යන චෝදනා සම්බන්ධයෙන් කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන පෙරේදා (03 වැනිදා) සවස මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණ සැකකරු අද (5 දා) දක්වා පැය 72 ක් කටුනායක පොලිසියේ රඳවා තබා ගෙන විමර්ශනය කිරීමට මිනුවන්ගොඩ මහෙස්ත‍්‍රාත් සහ දිසා විනිසුරු කේසර සී. ඒ. සමරදිවාකර මහතා කටුනායක පොලිසියට අවසර ලබා දුන්නේය.

සැකකරු වාලච්චනේ, ඔට්ටමාවාඩි, මීරා වෝඞ්, ආලිම් පාරේ ස්ථිර පදිංචි 27 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකි. සැකකරු තවත් තිදෙනකු සමග කටුනායක, අමන්දොළුව, ජයවර්ධනපුර ප‍්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පදිංචිව සිට ඇති බවට ලද තොරතුරක් මත කටුනායක පොලිසිය මගින් සැකකරුවන් සිවු දෙනාවම අත්අඩංගුවට ගත් බවට පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

අත්අඩංගුවට පත් කෝඞ්ඩයිකුඞ්ඩියකුලම, විශ්වමඩු, කල්ලාරු යන ප‍්‍රදේශවල ස්ථිර පදිංචිකරුවන් වූ අවුරුදු 35, 38 සහ 25 යන වයස්වල පසු වන සැකකරුවන් යම් අපරාධයක් කිරීමට සූදානම් නොවන බවට අනාවරණය වීමෙන් පසු පොලිස් ඇප මත මුදාහළ බව පොලිසිය අධිකරණයට පැවසීය.

මෙම සැකකරු විසින් යම් ප‍්‍රභුවරයකු ඝාතනය කිරීම සඳහා සැලසුමක් කි‍්‍රයාවේ යෙදවීමට අදහස් කරන බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් 1979 අංක 48 දරණ ත‍්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතේ 07(02) වගන්ති ප‍්‍රකාරව සැකකරු පැය 72 ක් පොලිසියේ රඳවා ගෙන විමර්ශන සිදුකිරීම සඳහා කටුනායක පොලිසිය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේය. ඒ අනුව සැකකරු රඳවා තබාගෙන විමර්ශන සිදු කිරීමට අවසර ලබාදුන් මහෙස්ත‍්‍රාත්වරයා විමර්ශන අවසන් කර සැකකරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට වැඩිදුරටත් නියම කළේය.

Divaina