Friday, October 25, 2024
Follow Us
කථානායකවරයා ලෙස මම සීමා බන්ධනවලට යටත් - දේශපාලන ප්‍රශ්නවලට මැදිහත්වෙන්න බැහැ

එක්සත් ජාතික පක්ෂය තුළ සමගිය, එකමුතුව සහ විනය ඇති කිරීමට දායක වන ලෙස සියම් මහ නිකායේ මහනායක හිමිපාණන් වහන්සේ සහ අනුනායක හිමිපාණන් වහන්සේ තමන්ගෙන් ඉල්ලා සිටි බව කතානායක කරු ජයසූරිය මහතා පැවසීය.

දේශපාලනික කටයුතුවලට පාර්ලිමේන්තුවේ කථානායකයා වශයෙන් තමන්ට මැදිහත් වීමට නොහැකි නමුත් මහානායක හිමිපාණන් වහන්සේ දෙනම සහ අනුනායක හිමිපාණන් වහන්සේ කළ ඉල්ලීම අනුමත කරන බව අද (04) මහනුවරදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කථානායක වරයා ප්‍රකාශ කළේය.

මහනුවරට පැමිණි කථානායක කරූ ජයසූරිය මහතා මල්වතු මහා විහාරයට පැමිණ එහිදී මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්හ.

අනතුරුව එම පාර්ශවයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමිපාණන් වහන්සේ බැහැදැක සාකච්ඡාවෙහි නිරතවූ කතානායකවරයා අස්ගිරි මහා විහාරයට පැමිණ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන හිමිපාණන් වහන්සේ බැහැදැක උන්වහන්සේ සමඟද සාකච්ඡාවක නිරත වූහ.

එම සාකච්ඡා මාධ්‍යට විවෘත නොවුණු අතර අස්ගිරි මහා විහාරයේදි මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් කථානායක කරූ ජයසූරිය මහතා මෙසේ ප්‍රකාශ කළේය.

"මහා සංඝරත්නය ලබා දෙන අවවාද අනුශාසනා මම නිරන්තරයෙන් ම පිළිපදිනවා. උන්වහන්සේගේ උපදේශයන් අන්තවාදී නොවන අතර සෑම විටම යථාර්ථවාදී ව ප්‍රයෝජනවත් අයුරින් යොදාගත හැකියි.

වර්තමානය තත්ත්වය පිළිබඳව උන්වහන්සේ සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට හැකියාව ලැබුණා. රටේ ස්ථාවරභාවය, නීතිය හා සාධාරණභාවය ස්ථාපිත වනු දැකීම මහා සංඝරත්නයේ අපේක්ෂාවයි.

කථානායකවරයා වශයෙන් මම යම් යම් සීමා බන්ධනවලට යටත්. දේශපාලනික කටයුතුවලට මට මැදිහත් වන්නට බැහැ. ප්‍රධාන දේශපාලන පක්ෂ තුළ සමගිය විනය අවශ්‍ය යැයි උන්වහන්සේ ලබා දුන් අවවාද අනුශාසනා මමත් අනුමත කළා.

අපක්ෂපාතී කථානායකවරයෙකු වශයෙන් ක්‍රියා කළ ආකාරයටම මම ඉදිරියටත් ක්‍රියා කරනවා. ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේදී ස්වාධීන මැතිවරණයක් පැවැත්වීමට හැකි අවස්ථාව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදෙනවා. ඒ සඳහා යම් යම් යෝජනා කිහිපයක් ඉදිරිපත් වී ඇති අතර ඒවා පාර්ලිමේන්තුව මගින් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලබාදීමට කටයුතු කරනවා.

ස්වාධීන මැතිවරණ කොමිෂන් සභා නිසා නිදහස් සහ සාධාරණ මැතිවරණයක් පසුගිය වාරයන්ට වඩා මෙවර පැවැත්වීමට හැකි වුණු බව ජනතාව නිරන්තරයෙන් ම ප්‍රකාශ කරනවා."

තමන්ගේ ඉදිරි දේශපාලනික කටයුතු දෛවයට බාර දෙන බව කතානායක කරු ජයසූරිය මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක චානක අයිලප්පෙරුම මහතා ද මෙම අවස්ථාවට එක්විය.

(LNW)