Friday, October 25, 2024
Follow Us
ශ්‍රී ලාංකිකයන්ට වීසා දීම ස්විට්සර්ලන්තය තාවකාලිකව නතර කර ඇතැයි තොරතුරු

ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැරගෙන තර්ජනය කිරීමකට ලක්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය හමු සහ වෙනත් ස්ථාන කිහිපයකදී අදත් අදහස් පළ වුණා.

රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ මෙම සිද්ධිය දේශපාලන අරමුණකින් ව්‍යාජ ලෙස නිර්මාණය කළ එකක් බවයි. ඒ සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්නගෙන් ප්‍රකාශයක් ලබාගත යුතු බව ද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

පිවිතුරු හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. ඒ, මෙම ව්‍යාජ සිද්ධිය නිර්මාණය කිරීම පිටුපස ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපතිවරයා ද සිටින බවට චෝදනාවක් ද කරමින්.

මේ අතර ශ්‍රී ලාංකිකයින්ට ස්විට්සර්ලන්තය සඳහා වීසා ලබාදීම තාවකාලිකව නවතා දමා ඇතැයි දැනගන්නට ලැබුණු බව සිංහල රාවය ජාතික සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. තමන් වහන්සේ ස්විට්සර්ලන්තය වෙත වීසා ලබා ගැනීමට උත්සහ කළ අවස්ථාවේ ඒ බව දැනගන්නට ලැබුණු බවයි උන්වහන්සේ වැඩිදුරටත් පැවසුවේ.

මේ සම්බන්ධයෙන් විමසීමට ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය දුරකතනයෙන් ඇමතීමට නෙත් නිවුස් උත්සහ කළා. එහෙත්, එම උත්සහය ව්‍යාර්ථ වුණා.

(Neth)