Friday, October 25, 2024
Follow Us
සා.පෙළ අද සිට – කාලගුණයෙන් බලපෑම් නම් සා.පෙළ අපේක්‍ෂකයෝ ළගම විභාග මධ්‍යස්ථානයට

අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය අදින් (02 දා) ආරම්භ වේ.

විභාගය අද ආරම්භ වී දෙසැම්බර් 12 වැනිදා තෙක් පැවැත්වේ. අයදුම්කරුවෝ හත්ලක්‍ෂ දහහත්දහස් අටක් (7,17,008) විභාග මධ්‍යස්ථාන 4987 කදී විභාගයට පෙනී සිටිති. පාසල් අයදුම්කරුවෝ හාරලක්‍ෂ තිස්තුන්දහස් පනහක් (4,33,050) සහ පෞද්ගලික අයදුම්කරුවෝ දෙලක්‍ෂ අසූතුන්දහස් නවසිය පනස්අටක් (2,83,958) මේ පිරිසට අයත් වෙති.

සෑම දිනකම උදේ වරුවේ පෙරවරු 8.30 ට විභාගය අරම්භ වන අතර සවස්වරුවේ පස්වරු 1.00 ට ආරම්භ කෙරේ. විද්‍යුත් සන්නිවේදන උපාංගවලින් යුත් අත්ඔරලෝසු, ජංගම දුරකථන හා වෙනත් විද්‍යුත් උපකරණ විභාග මධ්‍යස්ථානය තුළට රැුගෙන ඒම සහ භාවිත කිරීම සපුරා තහනම් වේ. මෙකී නියෝග කඩකරන විභාග අයැදුම්කරුවන්ගේ ප‍්‍රතිඵල අවලංගු කිරීම සහ වසර 05 ක් දක්වා විභාග තහනමක් පැනවීම සිදුකරනු ලැබේ.

විභාගය සම්බන්ධයෙන් ලැබෙන සෑම පැමිණිල්ලක් පිළිබඳවම සොයා බැලීම සඳහා විශේෂ විමර්ශන කණ්ඩායම් යොදවා ඇති අතර විභාග අතිරේක අධීක්‍ෂණය සඳහා අධීක්‍ෂණ කණ්ඩායම් දිවයිනේ සෑම ප‍්‍රදේශයක්ම ආවරණය වන පරිදි යොදවා ඇත.

විභාගය සම්බන්ධයෙන් වංචාවක් හෝ අක‍්‍රමිකතාවයක් සිදුවන්නේ නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්‍ෂණික ඇමතුම් අංකය වන 1911 ට හෝ පාසල් විභාග සංවිධාන හා ප‍්‍රතිඵල ශාඛාවේ 011-2784208 / 011-2784537, 011-3188350, 011-3140314 අංකවලට පැමිණිලි කළ හැක.

අදින් (02 දා) ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයට අයහපත් කාලගුණය හේතුවෙන් යම් බලපෑමක් සිදුවුවහොත් ළ`ගම විභාග මධ්‍යස්ථානවලට එම දරුවන් යොමු කිරීමට කටයුතු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පළාත් හා කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂවරුන්ට ඊයේ (01 දා) උපදෙස් දී ඇත.

විශේෂයෙන් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ බදුල්ල යන දිස්ත‍්‍රික්කවලට යම් බලපෑමක් සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් පළාත් හා කලාප අධ්‍යක්‍ෂවරුන් විභාග දෙපාර්තමේන්තුව දැනුවත් කර ඊට සුදුසු පියවර ගන්නා ලෙස ඔවුන්ට උපදෙස් දුන් බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහත ‘‘දිවයින’’ ඊයේ (01 දා) පැවසීය.

මේ වනවිටත් අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් යම් බලපෑමක් සිදුවුවහොත් ඊට කඩිනම් පිළියම් යෙදීම සඳහා විභාග දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ අමාත්‍යාංශය සමග සාකච්ඡුා කර අඛණ්ඩ සම්බන්ධතාවයකින් සිටින බවද හෙතෙම පැවසීය.

විභාගයට ඉදිරිපත් වන දරුවන් විභාගය ආරම්භ වන පෙරවරු 8.30 ට පැය භාගයකටවත් පෙර විභාග මධ්‍යස්ථානයට පැමිණිය යුතු බවත් ආපදාවට ලක්වන ප‍්‍රදේශවල ජීවත්වන දරුවන් කල්වේලා ඇතිව විභාග මධ්‍යස්ථානවලට පැමිණීමට වගබලා ගතයුතු බවත් හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් දරුවන්ගේ දෙමාපියන් වඩා විමසිලිමත්ව කටයුතු කළ යුතු බවද ඔහු කීය.

(Lanka Leads)