Friday, October 25, 2024
Follow Us
ලෝක ඒඩ්ස් දින පාගමන 2019 අති සාර්ථකව අවසන් වේ.

දෙසැම්බර් 01 වන දිනයට යෙදී ඇති ලෝක ඒඩ්ස් දිනයට සමගාමීව ඊයේ (නොැවැම්බර් 30) දින ලෝක ඒඩ්ස් දින පාගමන පෙරවරු 08 ට බොරුල්ල කැම්බල් පිටියෙන් ආර්ම්භ විය.

කැම්බල් පිටියේ සිට කොළඹ පුරහල දක්වා මෙම පාගමන දියත් වූ අතර අති සාර්ථකව අවසන් වූ බවට වාර්තා වේ.

රජයේ සෞඛ්‍ය සේවා නිලධාරීන්, ශ්‍රී ලංකා ජාතික එච්අයිවී නිවාරණ වැඩපිළිවෙළ ට අනුයුක්ත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ පාර්ශවකරුවන්, ශ්‍රී ලංකා පොලිසිය, බන්ධනාගාර අංශය, ප්‍රජා මූලික සංවිධාන, මානව හිමිකම් ක්‍රියාකාරීන් ඇතුළු රැසක ගේ සහභාගීත්වයෙන් දියත් වූ ලෝක ඒඩ්ස් දින පාගමන උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූ බවට වාර්තා වේ.

ප්‍රජාවන් එක්ව වෙනසක් සිදුකරමුය යන තේමාව යටතේ මෙවර පැවති 2019 ලෝක ඒඩ්ස් දින පාගමන තුළ විවිධ ප්‍රවර්ධන වැඩසටහන් රැසක් දියත් වූ අතර, ඒ අතුරින් මවගෙන්-දරුවාට එච්අයිවී සම්ප්‍රේශණය වීම 100% තුරන් කළ රටවල් අතරට ශ්‍රී ලංකාව එක්වීම, ශ්‍රී ලංකාවේ එච්අයිවී ආසාදිත පුද්ගලයින් අතර ප්‍රතිරෙට්‍රොෙවෙරස ප්‍රතිකාර (Antiretroviral Therapy) භාවිතය තුළින් සාර්ථකව රෝග ව්‍යාප්තිය පාලනය කිරීම පිළිබඳ දැනුවත් කිරීම, එච්අයිවී සම්ප්‍රේශණය වැළැක්වීමේ ප්‍රිඑක්ස්පෝෂර් ප්‍රොපිලැක්සිස් (Pre Exposure Prophylaxis) ප්‍රතිකාර වල සාර්ථක භාවිතය, අධි අවදානම් කණ්ඩායම් ප්‍රජා සහභාගීත්වය තුළින් ජනතාව අතර පවතින මිත්‍යා මත, වැරදි ප්‍රබන්ධ මුලිනුපුටා දමමින්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවය හෝ විවිධ සුළුතර ලිංගික දිශානතීන් පාදක කර ගනිමින් එල්ල වන ගෘහස්ත හා ගෘහස්ත නොවන ප්‍රචණ්ඩත්වය පිටු දකිමින් ප්‍රජා හිතෛශ්‍රී මානව හිතවාදී ප්‍රවේශයක් තුළ ආසාදන අවම කිරීම, එච්අයිවී ආශ්‍රිත නව ආසාදන හඳුනා ගැනීම හා ප්‍රතිකාර සිදුකිරීම, ව්‍යාප්තිය අවම කිරීමේ කොන්ඩම භාවිතය ප්‍රවර්ධනය කිරීම ප්‍රමුඛත්වයක් ගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ එච්අයිවී ව්‍යාප්තිය මර්දනය කිරීමේ ජාතික ව්‍යාපාරය තුළ ප්‍රධාන පාර්ශවකරුවන් වශයෙන් මෙහිදී ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන හා පවුල් සංවිධාන සංගමය අදහස් දැක්වූ අතර, සෞඛ්‍ය අමාත්‍යංශය, බන්ධනාගාර අංශය, ශ්‍රී ලංකා පොලිසිය, ශ්‍රී ලංකාවේ ලිංගික හා ප්‍රජනන සෞඛ්‍යය ප්‍රවර්ධනය සම්බන්ධ දායකත්වයක් ලබා දෙන යූඑන්එෆ්පීඒ සංවිධානය ද අදහස් දැක්වීම සිදුවන ලදී. ඉතිහාසයේ පටන් මේ වන තුරු ඒඩ්ස් ආශ්‍රිත රෝගී තත්ත්වයන් ගෙන් අභාවයට පත්වූ ප්‍රජා සොයුරු සොයුරියන් අනුස්මරණය කිරීම ද මෙහිදී සිදුවිය.

මීට අමතරව ජාතික වැඩසටහනේ ප්‍රජා නියෝජිත පාර්ශවකරුවන් වශයෙන් පොසිටිව් හෝප්ස් අලයන්ස් සංවිධානය, ලංකා ප්ලස් ආයතනය, පොසිටිව් විමෙන්ස් නෙට්වර්ක් සංවිධානය, සීඩබ්ඩීඑෆ් සංවිධානය, හාට්-ටු-හාට් සංවිධානය, ශ්‍රී ලංකා ජාතික සංක්‍රාන්ති සමාජභාවී පුද්ගලයින්ගේ ජාලය, යං අවුට් හියර් ශ්‍රී ලංකා ට්‍රස්ට් සංවිධානය ඇතුළු සංවිධාන රැසක් ඇගයීමට ලක්වූ අතර, ඒ ඇතැම් සංවිධාන තම ලෝක ඒඩ්ස් දින පණිවුඩය ඉදිරිපත් කිරීම ද සිදුවිය. එමෙන්ම ලබා දුන් මාධ්‍ය ආවරණය තුළ සුළුතර ලිංගික ප්‍රජා කණ්ඩායම් ඇතුළු විවිධ අධිඅවදානම් කණ්ඩායම් සිය අදහස් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම ද සුවිශේෂීත්වයක් විය.

සමාජ මාධ්‍ය ජාල තුළ දියත් වන එච්අයිවී ඇතුළු ලිංගාශ්‍රිත ආසාදන වැළැක්වීම පිළිබඳ වැඩසටහන් පිළිබඳවද අවධානය යොමුකිරීමක් සිදුවූ අතර, නෝෆෝෂුවර් නම් අන්තර්ජාල යෙදුම හරහා රජයේ ලිංගාශ්‍රිත රෝග සායනයක ආරක්ෂිතව එච්අයිවී පරීක්ෂාවක් සිදුකර ගැනීම සඳහා ලියාපදිංචි වීමේ පහසුකම් දැන් ජනතාව තිබෙන බව දැනුවත් කිරීමත්, ඊට අමතරව සමාජ මාධ්‍ය ජාල හරහා ප්‍රජා දැනුවත් කිරීමේ විවිධ වීඩියෝ පට එළි දැක්වීමක්ද මෙහිදී සිදුවිය.

වැඩසටහන තුළ විවිධ පාර්ශව අදහස් දැක්වීමට අමතරව, එච්අයිවී මර්දනය පළිබඳ ප්‍රජා දැනුවත් කිරීම සඳහා කලාත්මක අංගයන් කිහිපයක් ද ඉදිරිපත් විය. ප්‍රජා සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම අංගයන් අතර බන්ධනාගාර අංශය විසින් සංවිධානය කොට තිබූ වේදිකා නාට්‍යයක්, හා සංක්‍රාන්ති සමාජභාවී සොයුරියන්ගේ ප්‍රාසාංගික නර්ථනයක් ප්‍රමුඛස්ථානය ගන්නා ලදී. මීට අමතරව, ලෝක ඒඩ්ස් දිනයට සමගාවීව නිර්මාණය වූ කලාකෘති සම්බන්ධයෙන් ඇගයීමක් ද සිදුවූ අතර, එම නිර්මාණයන් ඉදිරිපත් කොට ජයග්‍රහණය කළ පුද්ගලයින් හට තිලිණපත් ප්‍රධානය කිරීමක් ද සිදුවිය.

(LNW)