Friday, October 25, 2024
Follow Us
බස්නාහිර පළාතේ සිඟමනේ නිරත යාචකයන් රැඳවුම් මධ්‍යස්ථාන වෙත

මහමග ගමන් කරන ජනතාවට සහ පොදු ප්‍රවාහන සේවාවල ගමන් කරන මගීන්ට අපහසුතා ඇතිවන පරිදි සිඟමනේ යෙදෙන යාචකයන් සියලු දෙනා රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට රජය වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ. එහි මුල් පියවර බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව පොලිස් මූලස්ථානය විසින් බස්නාහිර පළාතේ සියලු පොලිස් ස්ථාන වෙත දැනුම් දී ඇත්තේ සිඟමන් යදින යාචකයන් සියලු දෙනා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙසයි. වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මෙම දැනුම් දීම සිදුකර ඇත්තේ බස්නාහිර පලාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජගත් අබේසිරි ගුණවර්ධන මහතා විසිනි.

මෙසේ සාමාන්‍ය ජනතාවට බාධා සිදුවන පරිදි මහමග සිඟමන් යදින යාචකයන් සියලු දෙනා හම්බන්තොට රිදියගම ප්‍රදේශයේ ඉදිකර තිබෙන රැඳවුම් මධ්‍යස්ථාන වෙත යොමු කිරීමටයි රජය සැළසුම් කර තිබෙන්නේ.

දුම්රිය තුළද සිඟමන් යැදීම හෙට (01) සිට තහනම් වන අතර දුම්රිය සේවා අමාත්‍යංශය විසින් ඊට අදාල නිවේදනය ඊයේ නිකුත් කර තිබේ.

ජනාධිපතිවරයාගේ නගර අලංකරණ වැඩපිළිවෙල යටතේ මහමග සහ පොදු ප්‍රවාහන සේවාවල සිඟමන් යැදීම තහනම් කළ අතර එය දෙසැම්බර් පළමුවැනිදා සිට ක්‍රියාත්මක වේ.

(LNW)