Friday, October 25, 2024
Follow Us
ජනාධිපති සමාව ලැබූ රෝයල් පාර්ක් ඝාතකයාට රටින් පිටවීම තහනම් : හිටපු ජනපතිවත් නඩුවේ වග උත්තරකරුවෙක් කිරීමට අවසර

රෝයල් පාර්ක් ඝාතන නඩුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ජනාධිපති සමාව හිමි වූ විත්තිකරුට රටින් පිටව යාම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් අද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව ජනාධිපති සමාව ලැබූ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ යන අය දෙසැම්බර් මස 11 දා තෙක් රටින් පිටව යාම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට විනිසුරු බුවනෙක අලුවිහාරේ මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් අද (29) නියෝග කළ අතර මෙම පෙත්සම යළි දෙසැම්බර් මස 10 දා කැදවීමට නියමිතයි.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ ජනාධිපති සමාව ප්‍රධානය කිරීමට හිටපු ජනාධිපතිවරයා ගත් තීරණය අභියෝගයට ලක්කරමින් කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයක් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි.

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වන විට විධායක ජනාධිපති ධූරයේ කටයුතු නොකරන බැවින් ඔහු මෙම පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙසට නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා .

කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානයක් විසින් මෙම පෙත්සම ගොනු කළ අතර එහි වග උත්තරකරුවන් ලෙසට වගඋත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, ජනාධිපති සමාව ලැබූ දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්, ආගමන විගමන පාලකවරයා , අධිකරණ අමාත්‍යවරිය ඇතුළු 10 පාර්ශ්ව දෙනෙක් නම් කර ඇත.

2005 වර්ෂයේ රාජගිරිය ප්‍රදේශයේ පිහිටි රෝයල් පාක් නිවාස සංකිර්ණයේ නිවසකදී දොන් ශ්‍රාමන්ත ඇන්තනී ජයමහ විසින් තම පෙම්වතිය වූ යුවොන් ජොන්සන් නැමැත්තිය ඉතා අමානුෂික ලෙසට ඝාතනය කිරීමේ චෝදනාව මත ඔහුට මරණ දඬුවම හිමිවුවා.

(Neth)