Friday, October 25, 2024
Follow Us
බදු සහන ජනතාවට ලබාදීමට නව යාන්ත‍්‍රණයක් සැකසේ

බදු අඩු කිරීමේ වාසිය උපරිම ලෙස ජනාතාවට ලබා දීම සඳහා යාන්ත‍්‍රණයක් සකස් කළ යුතු බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසනවා.

එහි සභාපති රංජිත් විතානගේ පෙන්වා දුන්නේ මීට පෙර රජය මගින් පාරිභෝගිකයන්ට සහන ලබා දුන් අවස්ථාවලදී එම වාසිය වෙළද ප‍්‍රජාව මගින් පාරිභෝගික ජනතාවට ලබා නොදුන් බවයි.

නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර වෙළඳ සහ පාරිභෝගික සුබසාධන රාජ්‍ය අමාත්‍ය අනුර පි‍්‍රයදර්ශන යාපාගෙන් විමසීමක් කළා. එහිදි ඔහු සඳහන් කළේ බදු අඩු වීමේ ලාභය සෘජුව ජනතාවට ලබා දීමට සහ බඩු මිල අඩු කිරීමට පියවර ගන්නා බවය.

මේ අතර 24% ක් ව පැවති ආදායම් මත පැනවූ උපරිම බදු ප‍්‍රතිශතය නව බදු සංශෝධන සහිතව 18% ක් දක්වා අඩු කර ඇති බවයි සම කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසුවේ.

ආදායම් බද්දට යටත් වන රුපියල් දෙලක්‍ෂ 50,000 සීමාවේ සිට 6%, 12% සහ 18% වශයෙන් බදු ප‍්‍රතිශත 3 ක් හදුන්වා දී තිබෙනවා. තොරතුරු තාක්‍ෂණ අංශය සියළු බදුවලින් නිදහස් කිරීමට තීරණය කර ඇති අතර බැංකු ගිණුම් පොලිය මත අය කළ රැදවුම් බද්ද ද අහෝසි කිරීමටයි තීරණය කර ඇත්තේ.

දැනට කි‍්‍රයාත්මක 17% ක් වන වැට් බද්ද සහ ජාතිය ගොඩනැගීමේ බද්ද 8%ක් දක්වා අඩු කිරීමට ආණ්ඩුව ඉකුත්දා තීරණය කළා. විදුලි සංදේශ බද්ද 25%ක් දක්වා අඩු කෙරුණා.

විදේශ රටවල සේවය කරන ශ‍්‍රී ලාංකිකයින් මෙරටට එවන මුදල් සඳහා පනවා ඇති සම්පේ‍්‍රෂණ සඳහා පැනවූ බද්ද ද සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමටයි තීරණය කෙරුණේ.

ඉදිකිරීම් කේෂ්ත‍්‍ර මත පනවා ඇති 28% ක බද්ද 14%ක් දක්වා අඩු කෙරුණා.

එමෙන්ම ගෘහස්ත භාණ්ඩ හා නිෂ්පාදන මත පනවන ජාතික ගොඩනැගීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තු මත පනවන බද්ද, බැංකු සහ මුල්‍ය ආයතන මත පනවා ඇති හර බද්ද, උපයන විට ගෙවීම් සඳහා පනවා තිබෙන ආදායම් බද්ද, පොලී සඳහා මත පනවා තිබෙන රැඳවුම් බදු සහ ණය රැඳවුම් බද්ද වහාම ක‍්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

(Neth)