Wednesday, December 25, 2024
Follow Us
පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට නාවික හමුදාව සීරුවෙන්

දිවයිනට බලපා ඇති  අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන  මහජනතාවට සහන සැලසීම සඳහා මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස සහ අතුරලිය ප්‍රදේශ වෙත නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ස්ථානගත කිරීමට නාවික හමුදාව විසින් ඊයේ (24) කටයුතු කෙරුණු අතර, මේ වන විට එම සහන කණ්ඩායම් ආපදා සහන මෙහෙයුම් සිදු කරමින් සිටියි.

 

ඒ අනුව, අධික වර්ෂාපතනය හේතුවෙන් නිල්වලා ගඟ සහ එහි අතු ගංඟාවන් පිටාර මට්ටමට පැමිණ ඇති බැවින්, ඇතිවී ඇති ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත් වන ජනතාවට සහන සැලසීම සඳහා මෙලෙස නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් තුනක් (03) ජිවිතාරක්‍ෂක උපකරණ සමඟ ස්ථානගත කෙරිණි.

එම සහන කණ්ඩායම්, අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනී සිටින පාසල් ළමුන් පිරිසක් වෙත සහ ප්‍රදේශයේ ජනතාවගේ දෛනික කටයුතු සිදුකර ගැනීම සඳහා නාවික හමුදා ඩිංගි යාත්‍රා මඟින් අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සැලසීම අද (25)උදෑසන සිදු කෙරිණි.

තවද, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය මත ඇති විය හැකි ගංවතුර අවධානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරීමට නාවික හමුදා අමතර  සහන කණ්ඩායම් එකසිය තිස්හතරක් (134) සූදානමින් තබා ඇත.