Wednesday, December 25, 2024
Follow Us
වේගයන්ගොඩ නිධානයක් සොයා කළ කැනීම් අවසන් කරයි

අධිකරණ නියෝගයකට අනුව වේයන්ගොඩ, වඳුරව ප්‍රදේශයේ වගුරු සහිත භූමියක නිධානයක් ඇතැයි සොයා පුරා දින 3ක් සිදුකළ කැණීම් කටයුතු අද පස්වරු 4ට අවසන් කර තිබෙන අතර එම ස්ථානයෙන් කිසිදු පුරා වස්තුවක් හමු වී නොමැති බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර් තුසිත මෙන්ඩිස් මහතා ප්‍රකාශ කරයි.

එම කැනීමේදී විශාල ප්‍රමාණයේ ගලක් හමු වී තිබෙන අතර එය විශේෂ ගලක් නොව ස්වභාවික සෑදුණු ගලක් බව හඳුනගෙන තිබෙන බව තමා වෙත වාර්තා වූ බව අධ්‍යක්ෂ ජනරල්වරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේය. 

විශාල ප්‍රමාණයේ ගල ඉන් ඉවත් කිරීමට නොහැකි වූ පසුබිමක එය කැබලි කර පරීක්ෂා කිරීමටද පියවර ගෙන තිබුණි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, භූ විද්‍යා හා පතල් කාර්යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, මීරිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යන රාජ්‍ය ආයතනවල නිලධාරීන් අධීක්ෂණයෙන්, මහජනතාව ඉදිරියේ මෙම කැණීම් කටයුතු  සිදු කර තිබේ.

මේ පිළිබඳ කරුණු පැහැදිලි කළ පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා

“ශ්‍රී ලංකාවේ නිධන් කියලා ඉතා වැරදි මිත්‍යාවක් යනවා. නිධන් වදුළු කියන වචනය පදනම් කරගෙන තමයි මේ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පුරාම කැනීම් කරලා තියෙනවා. ඔය කියන ආකාරයේ අනර්ඝ වස්තු නැත්නම් මහා සම්පත් විශාල මූල්‍ය වටිනාකම් තිබෙන වස්තූන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබිලා නැහැ. විශේෂයෙන් යම් යම් දේවල් ලැබිල තියෙනවා ඒවා මූල්‍යමය වටිනාකමක් නැති වුනත් මිල කළ නොහැකි පුරා විද්‍යාත්මක වටිනාකම් තිබෙන දේවල්. ඒ නිසා මම මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ රටේ ඉතිහාසය අපේ රටේ විවිධ තැන්වල තියෙන්න පුළුවන්. ස්මාර්ක විදිය, පස්තැන්පතු විදියට, එහෙමත් නැත්නම් වෙනත් නිර්මාණ ලෙස. එවැනි නිර්මාණ ඔබ සියලු දෙනා විනාශ කරන්න එපා. ලොකුම ඛේදවාචකය තමයි මේ අය අත්අඩංගුවට අරගෙන සිරගත වීම් තුළ තමන්ගේ පවුල් සංස්ථාව ඇතුළු තමන්ගේ සියලු දේවල් බිඳ වැටෙනවා. ඒ වගේම ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලබන්නත් හැකියාව තියෙනවා.”