Wednesday, December 25, 2024
Follow Us
ලංවිම ප්‍රතිසංස්කරණ ඉදිරියට – පෞද්ගලීකරණය නවතී

නව පුනරුද යුගයක අරුනළු සමගින් මහජන කේන්ද්‍රීය බලශක්ති ක්ෂේත්‍රයක් කරා පියනගන බලශක්ති අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ, විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක්, ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ලංවිම සමස්ථ සේවක මණ්ඩලය ආවරණය වන පරිදි පසුගියදා(23) මාර්ගගත ක්‍රම ඔස්සේ පැවැත්වුණි.

සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීමටත්, පාරිභෝගික තෘප්තිමත්භාවය ඉහළ අගයක පවත්වාගෙන යෑමටත්, ආයතනයට සාධාරණ ලාභයක් ලැබීමටත්, ඉන් සමාජ ආර්ථිකයට ඉහළ ප්‍රතිලාභයක් ලැබීමටත්, සේවකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමටත් ඕනෑම ආයතනයක් විසින් කාලීන ඇගැයීම් සිදුකරමින් නිසි ආයතනික ප්‍රතිසංස්කරණයන් සිදුකිරීම අනිවාර්ය වේ.

ලංවිම තුළ එසේ සිදුවිය යුතුව තිබූ වෙනස්කම් දශක ගණනක් පුරාවට ආයතනය තුළින්ම සිදු නොවීමේ ප්‍රතිඵලය වූයේ, පසුගිය වසරේදී බාහිර යාන්ත්‍රණයන් විසින් යෝජනා කරනු ලැබූ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් තුළට අනුගත වීමට සිදුවීමය.

නමුදු වත්මන් ජනාධිපතිවරයා ලැබූ සමාජ පරිවර්තනීය ජනවරමට අනුරූපවන පරිදි බලශක්ති ක්ෂේත්‍රයේ නිසි ප්‍රතිසංස්කරණයන් සිදු කිරීමට නැවතත් අනගි අවස්ථාවක් උදාවී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරයි.

විදුලිබල පනත අනිවාර්යයෙන්ම සංශෝධනය වන බවත්, රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය කිසිසේත් පෞද්ගලීකරණය නොවන බවත්, සම්පූර්ණයෙන් රජයට අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරීත්වයක් සහිත ශක්තිමත් තනි ගැනුම්කරු මාදිලියක් තුළ ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් අංශ මූල්‍ය හා කාර්ය පරිපාලන වශයෙන් ස්වාධීනවන යාන්ත්‍රණයක් පුළුල් මහජන හා පාර්ශවකරුවන්ගේ උපදේශනයක් තුළ ස්ථාපිත කරමින්, ඉදිරි වසර පහ තුළ මේ කලාපයේ අඩුම විදුලි පිරිවැය ඇති රට බවට ශ්‍රී ලංකාව පත් කරමින්; මහජන හිතැති, පිරිසිදු, සුරක්ෂිත විදුලිබල ක්ෂේත්‍රයක් ඇති කිරීමට සැමට එක්වන ලෙසත් අධ්‍යක්ෂක මණ්ඩලය මෙහිදී ආරාධනා කළේය.

ඒ සඳහා බලශක්ති අමාත්‍යාංශය විසින් ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සඳහා සියළුම සේවකයින්ගේ සක්‍රීය දායකත්වය ලබාගැනීමට සියළු සේවක ස්ථර නියෝජනය කරමින් සැදුම්ලත් කමිටුවක් ස්ථාපිත කිරීමටද මෙහිදී යෝජනා විය.