Saturday, October 19, 2024
Follow Us
රබර් වගාවේ නියුතු ගොවීන්ට රක්‍ෂණාවරණයක්

රබර් වගාවේ නියුතු ගොවි ප්‍රජාව ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව රබර් වගා රක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශ ලේකම් බි.කේ. ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේය.

මේ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි. එහි දී අමාත්‍යංශ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම රක්ෂණාවරණ ක්‍රමය පරිසර, වනජීවී, වනසම්පත්, ජල සම්පාදන සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශය, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුව, සහ කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය එක්ව හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.

ස්වභාවික රබර් වලින් 89% ක් සපයනු ලබන්නේ ආසියාතික රටවල් මඟිනි. ශ්‍රී ලංකාව එහි දහවන ස්ථානයේ රැඳී සිටී.

එමෙන්ම, 2024 අගෝස්තු වන විට රබර් හා රබර් ආශ්‍රිත නිමි භාණ්ඩ අපනයනය මඟින් ලද ආදායම ඩොලර් මිලියන 682 කි.

මේ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කිරීමෙන් මෙම ආදායම වැඩි කර ගත යුතු බව පැවසූ ඒ මහතා ගොවීන් මෙන්ම රබර් කර්මාන්තය ආරක්ෂා කර ගෙන පෞද්ගලික අංශය සම්බන්ධිකරණ කරමින්, රබර් වගාවට සම්බන්ධ වෙළෙඳුන්, කර්මාන්තකරුවන් සම්බන්ධව ද යම්කිසි ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බව පැවසිය.

දේශගුණික විපර්යාස වළක්වා ගැනීමට/මැඩපවත්වා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කිරීම මෙන්ම කුඩා ගොවින් ආරක්ෂා කර ගැනීම සඳහා තිරසාර වැඩසටහනක් සැකසිය යුතු බවත් ඒ මහතා මෙහි දී සඳහන් කළේය.

රබර් වගාවේ නියැලී සිටින ගොවීන්ගේ සුභ සාධනය සඳහා සහ ඉදිරියේ දී සහනාධාර රහිතව රබර් වගාවේ නිරත වීමේ දී ඔවුන්ට රැකවරණයක් ලබා දීමෙන් කුඩා රබර් ඉඩම් හිමියන් රබර් වගාව වෙත ආකර්ෂණ කර ගැනීම සඳහාත් මෙවැනි සැලසුම් හරහා හැකිවන බව හෙතෙම වැඩිදුරටත් පැවසුවේය.