Saturday, October 19, 2024
Follow Us
ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල දෙවැනි වරටත්

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය විශිෂ්ට ජනමාධ්‍ය සංස්කෘතිකයක් රට තුළ ස්ථාපිත කිරීම උදෙසා ජනමාධ්‍යවේදීන් සිදුකරනු ලබන මෙහෙවර ඇගයීම සහ ඔවුන් දිරිගැන්වීම වෙනුවෙන් ජනාධිපති මාධ්‍ය සම්මාන 2024 උළෙල දෙවැනි වරටත් පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතී.

පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනි, වෙබ් අඩවි, මාධ්‍ය පර්යේෂණ සහ පාසල් මාධ්‍ය යන ක්ෂේත්‍රයන් සඳහා සම්මාන 50ක්ද, මාධ්‍ය ක්ෂේත්‍රය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ ප්‍රවීණයින් 04 දෙනෙකුට පිදෙන යාවජීව සම්මානය සහිතව මුළු සම්මාන 54ක් 2023 වසරේ නිර්මාණ අගයමින් පිරිනැමීමට සැලසුම් කර ඇත.
2023.01.01 දින සිට 2023.12.31 දින දක්වා පළ වූ/විකාශනය කරන ලද නිර්මාණ පමණක් සලකා බලනු ලබන අතර සම්මාන සඳහා ඉදිරිපත් කරනු ලබන නිර්මාණ ස්වතන්ත්‍ර ඒවා විය යුතුය. හැකිතාක් ආයතන ප්‍රධානීන් මඟින් අයදුම්පත් එවීමට කටයුතු කළ යුතු අතර, ස්වාධීනව තමාම සහතික කර වුවද අයදුම්පත් යොමුකළ හැක.
අමාත්‍යාංශය මඟින් පත් කරන ලද වෘත්තීය සහ විෂයානුගත ප්‍රවීණත්වයෙන් යුත් අනු කමිටු මඟින් සම්මාන සඳහා නිර්දේශ කරන නිර්මාණ ප්‍රධාන කමිටුව මගින් තෝරා ගන්නා අතර, එම තීරණය අවසන් තීරණය වේ.
මේ සඳහා 2024.10.08 දින සිට 2024.10.30 දින දක්වා නිර්මාණ ඉදිරිපත් කළ හැකි අතර, වැඩි විස්තර සහ අයදුම් පත්‍රය www.media.gov.lk වෙබ් අඩවියෙන් හෝ අමාත්‍යාංශයට පැමිණ ලබාගත හැකිය.
අදාළ නිර්මාණ අතිරේක ලේකම් (සංවර්ධන, සැලසුම් හා තොරතුරු), බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය, අංක 163, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට එවිය යුතු අතර, නිර්මාණ බහා එවන ලිපි කවරයේ වම් පස ඉහළ කෙළවරේ නිර්මාණය අදාළ වන ක්ෂේත්‍රය සහ තරග අංශය පැහැදිලිව සඳහන් කල යුතුය.
වැඩිදුර විස්තර 0112513737/0112513459 දුරකථනය ඔස්සේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සංවර්ධන අංශය ඇමතීමෙන් ලබාගත හැකිය.