Saturday, October 19, 2024
Follow Us
කුමන රටක ජීවත් උනත් ඒ රටේ පුරවැසියන් විදිහට සෞඛ්‍ය සේවාවන් ලැබිය යුතුයි - සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්

සෞඛ්‍ය සේවාව ලබා ගැනීම අයිතිවාසිකමක් බවත් අප සියලු දෙනා කුමන රටක හිටියත් එම රටේ පුරවැසියන් විදිහට අපට සෞඛ්‍ය සේවාව ලැබීමේ හිමිකම ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා අවධාරණය කරයි.

ලේකම්වරයා මේ බව අවධාරණය කර සිටියේ සැප්තැම්බර් 17 වැනි දාට යෙදුන ලෝක රෝගී සුරක්ෂිතතා දිනයට සමගාමීව මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ මෙහෙයවීමෙන් හා සංවිධාන ශක්තියෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ රෝහල් වල කාර්ය මණ්ඩලවල සහභාගීත්වයෙන් මොනරාගලදී පැවැත් වූ අන්තර් රෝහල් ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනට පසුගියදා සහභාගී වෙමිනි.


වැඩිදුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය ලේකම්වරයා කියා සිටියේ, සෞඛ්‍ය සේවාව ලබාදීම රටක යුතුකම බවත්, සෞඛ්‍ය සේවය ලබා ගැනීම අපගේ යුතුකම බවත්ය. ඒ පිළිඳව පුරවැසියන් ලෙස අයිතිවාසිකමක් තිබෙන බව ද පැවසීය.
සෞඛ්‍ය සම්පන්නව සිටීම අයිතිවාසිකමක් වුවත් රජයේ රෝහල් පද්ධතියක් තිබුණත් එයින් ප්‍රතිකාර නොගතහොත්, ලබා දෙන සෞඛ්‍ය උපදෙස් නිසි අයුරින් නොපිළිපැද්දොත් සෞඛ්‍ය සම්පන්නව සිටීමට නොහැකි බවද පෙන්වා දුන්නේය.


දුම්පානය නොකරන ලෙසට කොපමණ උපදෙස්, සෞඛ්‍ය අවවාද ජනතාවට ලබා දුන්නත් අප රටේ දුම්පානයෙන් වාර්ෂිකව 20,000 ක් විතර මරණයට පත්වන බවත්, මධ්‍යසාර භාවිතය නිසා සිදුවන මරණ මෙන්ම සෞඛ්‍ය සම්පන්න නොවන ආහාර භාවිතයත් නිසා සිදුවන මරණ ප්‍රමාණයේ ද, යම් වර්ධනයක් පෙන්නුම් කරන බවත් ලෝකය පුරා මිලියන 134 ක් පමණ patient errors වාර්තාවන බවත් එයින් මිලියන 3 ක් පමණ මරණයට පත්වන බවත් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
මෙම අන්තර් රෝහල් ප්‍රශ්ණ විචාරාත්මක වැඩසටහනට විශේෂඥ වෛද්‍යවරයාගේ සිට සෞඛ්‍ය කාර්ය සහයක සේවකයා දක්වා නියෝජනය වන ආකාරයට එක් කණ්ඩායමකට පස් දෙනෙකු සහභාගි වූ අතර අවස්ථාවන් කිහිපයදී පැවැත්වූ ප්‍රශ්ණ විචාරාත්මක වටයන්ගෙන් ජයග්‍රණය ලබා අවසන් වටයට සියඹලාන්ඩුව මූළික රෝහල් කණ්ඩායමට සහ බිබිල මහචාර්ය සේනක බිබිලේ අණුස්මරණ රෝහල් කණ්ඩායම තේරීපත් වි තිබිණ.


ප්‍රශ්න වට තුනකින් පැවැත්වූ අවසන් මහා තරගාවලියෙන් සියඹලාණ්ඩුව මූලික රෝහල ලකුණු 115ක් ලබා ජයග්‍රහයණය කළේය.


මෙම අන්තර් රෝහල් ප්‍රශ්න විචාරාත්මක සමස්ථ තරගාවලියට මොනරාගල දිස්ත්‍රික්කයේ රෝහල් 17 ක් නියෝජනය කරමින් කණ්ඩායම් 17ක් සහභාගි වි තිබිණ.
මෙයට සමගාමීව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 11 ක සහ ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක 10 සහභාගීත්වයෙන් රෝගී සුරක්ෂිතාවය වෙනුවෙන් සිදුකරන ලැබූ නව ව්‍යාපෘති මෙහිදී ඇගයීමකට ලක් කිරීමට පියවර ගෙන තිබේ.


රෝගී සුරක්ෂිතතාවය තහවුරු කිරීම පිණිස සෞඛ්‍ය කාර්ය මණ්ඩලය දැනුවත් කිරීම, ඒ පිළිඳව අවබෝධයක් ලබා දීම, ස්වයං අවබෝධයක් ලබා ගැනීම මෙහි වැඩසටහනේ මුඛ්‍ය අරමුණයි.
ජයග්‍රාහී සියඹලාණ්ඩුව මූලික රෝහල් කණ්ඩායමටත්, අනුශූරතාවය දිනාගත් බිබිල මහචාර්ය සේනක බිබිලේ අනුස්මරණ රෝහල් කණ්ඩායමටත්, තෙවන ස්ථානය දිනාගත් පිටකුඹුර ප්‍රාදේශීය රෝහල් කණ්ඩායමටත් හිමි සහතික හා කුසළාන සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පිරිනමන ලදී.
මෙම අවස්ථාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ඌව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජනිතා තෙන්නකෝන් , මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුසන්ත ප්‍රනාන්දු, යන මහත්ම මහත්මීන් මෙන්ම වෛද්‍ය අධිකාරීවරුන්, දිස්ත්‍රික් වෛද්‍ය නිළධාරීවරුන්, ආයතනභාර වෛද්‍ය නිළධාරීවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන්,හෙද හෙදියන් ඇතුලු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල නියෝජනය කරමින් පිරිසක්ද සහභාගි වී සිටියහ.