Saturday, October 19, 2024
Follow Us
නාවික ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ආරම්භ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලකාය විසින් තෙවන  (03) වරට සංවිධානය කරනු ලබන Marines Field Training Exercise Blue Whale - 2024 ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය පසුගිය දා (05) වන දින ත්‍රීකුණාමලය දකුණ, සාම්පූර් හී පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා විදුර ආයතන පරිශ්‍රයේදී ආරම්භ වූ අතර, විදේශීය නාවික හමුදා සාමාජිකයන් ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම අභ්‍යාසය 2024 ඔක්තෝබර් මස 15 වන දින දක්වා වයඹ මුහුදු තීරය සහ ඒ ආශ්‍රිත වෙරළ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නාවික හමුදාව කටයුතු සංවිධානය කර ඇත.

මෙම ක්‍ෂෙත්‍ර පුහුණු අභ්‍යාසය සඳහා ප්‍රථමවරට පාකිස්ථානය, මාලදිවයින සහ බංගලාදේශය නියෝජනය කරමින් නිරීක්‍ෂකයන් ඇතුළුව නාවික හමුදා සාමාජිකයන් විසිපස්දෙනෙකු (25) සහභාගී වන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා දියත් විධානය, නාවික පාබල අංශය, මැරීන් බලකාය, විශේෂ යාත්‍රා බලඝණය, ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය, ගවේෂණාත්මක කාර්ය සාධක බලකාය සහ නාවික හමුදා වෛද්‍ය අංශයේ නාවික හමුදා පුද්ගලයන් එකසිය අනූපස් දෙනෙක් (195) මේ සඳහා සහභාගී වේ. එමෙන්ම, මෙම අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති ගොඩබෑමේ නෞකාව, වෙරළබඩ මුර යාත්‍රා සහ RHIB යාත්‍රා මෙන්ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 සහ MI 17 වර්ගයේ හෙලිකොප්ටර් යානා දෙකක් ද (02) එක්වේ.

මෙම පුහුණු අභ්‍යාසය තුළදී සතුරු ග්‍රහණයේ ඇති භූමියක් වෙත උපක්‍රමිකව මුහුදෙන් භට පිරිස් සහ යුද සැපයුම් ඇතුළු කිරීමේ භූ ජලතරණ අභ්‍යාස (Amphibious Operations), සතුරු භූමිය පිළිබඳ හා සතුරාගේ හැකියාවන් පිළිබඳ තොරතුරු රැස් කිරීමේ අභ්‍යාස (Reconnaissance), දූපත් සහිත ජලාශ්‍රිත ප්‍රදේශ තුළ සිදු කෙරෙණ පරීක්‍ෂා කිරීමේ මේහෙයුම් (Riverine/ Search and Clear Operations), සතුරු භූමිය වෙත ආරක්‍ෂිතව මිතුරු හමුදා ඇතුල් කිරීම සඳහා ගොඩබිම් සහ ගුවන් ප්‍රහාර අභ්‍යාස (Amphibious Assault), මුහුදෙන් භට පිරිස් ආරක්‍ෂිතව ගොඩබිමට ඇතුලු කිරීම සඳහා මුහුදේ සිට හඳුනාගත් සතුරු ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාස (Naval Gun Fire Support - NGFS), සංග්‍රාමික අවස්ථාවකදී අමතර භට පිරිස් යෙදවීම සහ ගුවනින් තුවාල කරුවන් ඉවත් කිරීමේ අභ්‍යාස (Reinforcement and CASEVAC), ගුවනින් සංග්‍රාම භූමිය වෙත භට පිරිස් ඇතුලු කිරීමේ අභ්‍යාස (Air Infiltration by Rappelling), අභ්‍යන්තර ආරක්‍ෂක රාජකාරි (Internal Security Duties - ISD) සහ ප්‍රතිවිප්ලවීය සංග්‍රාම (Counter Revolutionary Warfare - CRW) ආශ්‍රිත සටන් අභ්‍යාස සහ සතුරු ග්‍රහණයෙන් මුදාගත් ප්‍රදේශ තුළ ජන ජීවිතය යථාතත්වයට පත් කිරීම සඳහා සිදු කරන ආරක්‍ෂක මෙහෙයුම් (Stability Operations) ඇතුළු පුහුණු අභ්‍යාස රැසක් සිදු කිරීමට නියමිතව ඇත. මෙම භූ ජලතරණ අභ්‍යාසයේ අණදෙන නිලධාරී ලෙස (Commander Amphibious Task Force - CATF) ශ්‍රී ලංකා නාවික නෞකා ශක්ති අණදෙන නිලධාරී කපිතාන් තුෂාර මහේෂ් කටයුතු කරනු ලබයි.

මෙම  Blue Whale - 2024 අභ්‍යාසය සාර්ථකව සිදු කිරීම තුළින්; භූ ජලතරණ මෙහෙයුම් පිළිබඳ උපායමාර්ගික ක්‍රමෝපායන් සම්බන්ධ දැනුම යාවත්කාලීන කිරීම, නාවික හමුදාව සහ ගුවන් හමුදාව අතර මෙන්ම කලාපීය පාර්ශව කරුවන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය හා හවුල්කාරිත්වය වර්ධනය කිරීම, පාර්ශවකරුවන්ගේ සංග්‍රාමික අත්දැකීම්, නව දැනුම සහ යහපත් භාවිතයන් හුවමාරු කර ගැනීම, පාර්ශවකරුවන්ගේ හැකියාවන් හඳුනාගැනීම සහ නාවික හමුදාවේ විශේෂ බලකා හා ඒකකයන්ගේ හැකියාවන් වර්ධනය කිරීම තුළින් සාගර කලාපයේ පොදු සමුද්‍රීය අභියෝග සඳහා සාමූහිකව ප්‍රතිචාර දැක්වීම සහ අභ්‍යන්තර ආරක්‍ෂක මෙහෙයුම් සාර්ථකව සිදු කිරීම සඳහා අවශ්‍ය යොග්‍යතාවය සහ මෙහෙයුම් සූදානම වර්ධනය කිරීම නාවික හමුදාව අපේක්‍ෂා කෙරේ.

තවද, මෙම පුහුණු අභ්‍යාසයේ සමාරම්භක අවස්ථාව සඳහා; ධජ නිලධාරී නාවික දියත් විධනය කොමදෝරු සංජීව පෙරේරා, අධ්‍යක්‍ෂ මැරීන් කොමදෝරු රොහාන් දිසානායක, නාවික අණභාර නිලධාරී (ත්‍රීකුණාමලය දකුණ) හා ආඥාපති ශ්‍රී ලංකා නාවික නෞකා විදුර කපිතාන් සංජීව කොඩිකාර, හතරවන වේග ප්‍රහාරක යාත්‍රා සමුහයේ අණදෙන නිලධාරී, කපිතාන් අතුල ජයවීර, අණදෙන නිලධාරී ශ්‍රී ලංකා නාවික නෞකා විදුර හා පළමු වන මැරීන් බළ ඇණිය, කොමාණ්ඩර් සමන්ත දිසානායක, පාකිස්ථානය, මාලදිවයින සහ බංගලාදේශය නියෝජනය කරමින් පැමිණි විදේශිය නාවික හමුදා සාමාජිකයන් ඇතුළු අභ්‍යාසයට සහභාගී වන නාවික හමුදා පුද්ගලයන් සහභාගී වී සිටියහ.