Thursday, December 26, 2024
Follow Us
ශ්‍රී ලංකාවට වසර 10කට පසු එංගලන්තයේදී ටෙස්ට් ජයක්

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පෙරේදා (09) අවසන් වූ තෙවැනි හා අවසාන ටෙස්ට් ක්‍රිකට් තරඟය කඩුලු 8 කින් ජය ගැනීමත් සමඟ එංගලන්තයට එරෙහිව වසර 10 කට පසු එංගලන්තයේදී ටෙස්ට් තරඟයක් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට එංගලන්ත කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 325 ක් ලබා ගත්හ. පන්දුවට පහරදීමේදී Ollie Pope ලකුණු 154 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිලාන් රත්නායක කඩුලු 3 ක් හා විශ්ව ප්‍රනාන්දු, ළහිරු කුමාර හා ධනංජය ද සිල්වා කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් විය.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 263 ක් පමණක් වන අතර පන්දුවට පහරදීමේදී පැතුම් නිස්සංක හා කමිඳු මෙන්ඩිස් ලකුණු 64 බැඟින් ද, ධනංජය ද සිල්වා ලකුණු 69 ක් ලබා ගැනීමට සමත් විය.

දෙවන ඉනිම සඳහා පන්දුවට පහරදීමට පැමිණි එංගලන්ත කණ්ඩායමට සිය දෙවන ඉනිම සඳහා සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකියාව ලැබුණේ ලකුණු 156 ක් පමණක් වන අතර එහිදී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර කඩුලු 4 ක්, විශ්ව ප්‍රනාන්දු කඩුලු 3 ක් හා අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් බිඳ හෙළීමට සමත් විය.

ලකුණු 219 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2 ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගිය අතර, පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම අනගි ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක ලකුණු 127 ක් ලබා ගත්තේය.

දෙරට අතර ටෙස්ට් තරඟ ඉතිහාසයේ එංගලන්තයට එරෙහිව ඔවුන්ගේ නිජබිමේදීම ශ්‍රී ලංකාව ලබා ගන්නා ලද සිව්වැනි ටෙස්ට් ජය ලෙසින්ද මෙම ටෙස්ට් ජයග්‍රහණය සනිටුහන් විය. ඒ අනුව තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය තරග 2 - 1 ක් ලෙස ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.