Thursday, October 24, 2024
Follow Us
රටේ ධනාත්මක වෙනසක් සිදුකළ හැකි ගාමක බලවේගය උගත් තරුණ පරපුරයි

රටේ ධනාත්මක වෙනසක් සිදුකල හැකි ගාමක බලවේගය වන්නේ උගත් තරුණ පරපුර බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

KIU විශ්වවිද්‍යාලයේ 6 වැනි උපාධි ප්‍රධානෝත්සවය පසුගියදා අමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැති අතර එහිදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා

"අධ්‍යාපනයේ කාර්යභාරය වන්නේ යමෙකුට නිවැරදිව සහ විවේචනාත්මකව සිතීමට ඉගැන්වීමයි. බුද්ධිය සහ චරිතය සැබෑ අධ්‍යාපනයේ අරමුණ වන බව මාර්ටින් ලූතර් කිං වරක් පවසා තිබෙනවා.
මෙම ආයතනය තුළ ඔබ ලද අධ්‍යාපනය හා මඟපෙන්වීම වත්මන් ලෝකයේ අභියෝගවලට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය වන විවේචනාත්මක චින්තන කුසලතා, විශ්ලේෂණාත්මක හැකියාවන් සහ පුළුල් ඉදිරි දර්ශනයකින් ඔබව සන්නද්ධ කර තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යවරයෙකු ලෙස අප සතු වගකීම් සහ අභිලාෂයන් පිළිබඳව අවබෝධයක් මා සතුව ඇත. අධ්‍යාපනය, නවෝත්පාදන සහ සැමට සමාන අවස්ථා හිමිකර දෙන ප්‍රතිපත්ති සම්පාදනය කිරීම අපගේ යුතුකමයි. තරුණයන්ට දියුණු විය හැකි සහ ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගත හැකි පරිසරයක් නිර්මාණය කිරීමට අප නිරන්තරයෙන් කැපවන්නෙමු. ඔබ ලබන සාර්ථකත්වය එවැනි යහපත් ප්‍රතිපත්තිවල සඵලතාවය, රජය සහ අනෙකුත් අධ්‍යාපන ආයතන අතර පවතින දිගුකාලීන සහයෝගීතාවය පිළිබඳ සාක්ෂියක් ද වේ.
අන්තර සබඳතා තුලින් සීමා මායිම් ඉක්මවා යන වත්මන් තාක්ෂණික ලෝකය තුල, ගෝලීය මානසිකත්වයක් සහිත කටයුතු කිරීම අත්‍යවශ්‍යයි. ලොව පුරා පිලිගත් ආයතන සහ ජාතීන් සමඟ සබඳතා වර්ධනය කර ගනිමින් මෙම ආයතනය සිදු කරන මෙහෙවර තුලින් අධ්‍යාපනයේ ගුණාත්මක බව ඉහළ නැංවීමට පමණක් නොව ජාතීන් අතර මිත්‍රත්වයේ සහ සහයෝගීතාවයේ බැඳීම් ද ශක්තිමත් වන බව මා විශ්වාස කරනවා.
අනාගත ලොවතුල ධනාත්මක වෙනසක් සඳහා සක්‍රීයව දායක වන පිරිසක් බවට පත්වන ලෙසත් , පුද්ගලික ජයග්‍රහණ උදෙසා පමණක් නොව ජාතියේ යහපැවැත්ම සඳහා කැප වූ වගකිවයුතු පුරවැසියන් පිරිසක් ලෙස කටයුතු කරන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිනවා. රටක් සහ ලෝකයක් ලෙස අප මහුණ දෙන දේශගුණික විපර්යාස, සමාජ අසමානතාවය හෝ අභියෝග සඳහා නිර්මාණශීලී විසඳුම් සෙවීම උදෙසා ඔබගේ උනන්දුව, නිර්මාණශීලිත්වය සහ කැපවීම අත්‍යාවශ්‍ය වනවා.
මෙවැනි විශිෂ්ඨ උපාධිධාරීන් පිරිසක් බිහි කිරීම උදෙසා කැප වූ KIU ආයතනයේ සියලූම කාර්ය මණ්ඩලයට මාගේ කෘතඥතාව පිරිනැමීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. අධ්‍යාපනය උදෙසා දක්වන දායකත්වය, මඟ පෙන්වීමේ තුලින් අනාගත පරපුර වඩාත් යහපත් වනු ඇති බව මා විශ්වාස කරනවා.
ඔබ ලබාගන්නා අධ්‍යාපනය ජීවිත කාලය පුරා ඔබ සමග පවතින බව මතක තබාගන්න.
යහපත්, ප්‍රගතිශීලී සමාජයක් බිහිකිරීම උදෙසා දැනුම සොයායෑමට අරඹන ගමනේ විශිෂ්ඨත්වය ළඟා වීමට ඔබට හැකිවේවායි මා සුබ පතනවා."
ජපානයේ කගොශිමා ප්‍රාන්ත සභාවේ වත්මන් සභාපති හා කතානායක මට්සුසාටෝ යසුහිරෝ (Matsuzato Yasuhiro) මහතා, එහි 71වන සභාපති ටනාඕ කෝසෝ (Tanoue Kozo) මහතා සහ 70වන සභාපති කට්සුසෝ හොකාසෝනෝ (Katsuzo Hokasono) මහතා ඇතුලු සම්භාවනීය නියෝජිතයින්, KIU විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නෙලුකා ප්‍රනාන්දු ඇතුලු අංශ ප්‍රධානීන්, උපාධිධාරී සිසු සිසුවියන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.