Thursday, October 24, 2024
Follow Us
මුල්‍ය ආරවුල් විසදීම සඳහා විශේෂ සමථ මණ්ඩල

විවිධ ආයතන අතර පවතින ආරවුල් මෙන්ම පුද්ගලයින් සහ ආයතන අතර ව්‍යාපාර ගනුදෙනුවලින් ඇති වන මුල්‍ය ආරවුල් විසදීම දිස්ත්‍රික්ක 06 ක් කේන්ද්‍ර කර ගනිමින් විශේෂ වර්ගයේ සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර ඇත.

මෙම විශේෂ සමථ මණ්ඩල කොළඹ, ගම්පහ, මහනුවර, මොණරාගල, පොලොන්නරුව සහ අනුරාධපුර යන දිස්ත්‍රික්කවල ස්ථාපිත කෙරෙන අතර, මෙම විශේෂ සමථ මණ්ඩලවලදී නිරවුල් කර ගත හැක්කේ රුපියල් ලක්ෂ පහකට වඩා අඩු මුල්‍ය වටිනාකමක් සහිත ගනුදෙනු පමණි.

මෙම සමථකාරවරයන්ගේ මුල මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස පත් වීම සදහා අවශ්‍ය සුදුසුකම්වලට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (23) පැවති අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේදී එකගතාවය හිමි විය.

2023 ජනවාරි මස 14 වන දින පළ කරන ලද 2314/80 දරණ අති විශේෂ ගැසට් පත්‍රයෙහි අදාළ සුදුසුකම් දක්වා ඇත. ඒ අනුව වයස අවුරුදු 35 ත් 75 ත් විය යුතුවීම, අඛණ්ඩව වසර පහක කාලයක් මාණ්ඩලික නිලධාරී මට්ටමේ නිලතල දරණ හෝ දැරූ නිලධාරීයෙකු අයෙකු විය යුතු වේ.

පුද්ගලික අංශයේ රාජ්‍ය නොවන සංවිධානයක/බැංකුවක හෝ සංස්ථාවක ජ්‍යෙෂ්ඨ කළමණාකාර තනතුරක් දැරූ තැනැත්තෙකු විය යුතුය හෝ කිසියම් ලිඛිත නීතියක් මගින් හෝ යටතේ ස්ථාපිත පිළිගත් වෘත්තිය හෝ අධ්‍යාපන සුදුසුකමක් ලබා තිබිය යුතුය සහ සමථකාරවරයන්ගේ මුල මණ්ඩලයක සාමාජිකයෙතු ලෙස කටයුතු කිරීම සදහා මනා මානසික සහ ශාරීරික යෝග්‍ය තත්වයක් සහිත විය යුතු බවත්, සමථකරණයේ පළ පුරුද්ද හෝ සමථකරණයෙහි සිද්ධාන්ත සහ ප්‍රධාන ලක්ෂණ පිළිබදව දැනුම අමතර සුදුසුකමක් ලෙස විශේෂ වර්ගවල ආරවුල් සමථකාරවරුන් පත් කිරීමේදී සළකා බලන බවත්, අදාළ ගැසට් නිවේදනයෙහි දක්වා ඇත.