Thursday, October 24, 2024
Follow Us
47 වන ජාතික ක්‍රීඩා තරඟාවලිය ඇරඹෙයි

47 වන ජාතික ක්‍රීඩා තරඟාවලිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රීඩා හා යෞවන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සහභාගීත්වයෙන් ඊයේ (24) සුගතදාස ජාතික ක්‍රීඩාංගණයේ දී ආරම්භ විය.

මෙවර සමස්ත තරගාවලියේ දී රන් පදක්කම් 262ක්, රිදී පදක්කම් 262ක් සහ ලෝකඩ පදක්කම් 360ක් පිරිනැමේ.

මෙතෙක් ක්‍රීඩා ඉසවු 30ක් යටතේ තරඟ පැවැත්වූ අතර ක්‍රීඩකයින් 3215ක් සහ ක්‍රීඩිකාවන් 2591ක් වශයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5806ක් පළාත් නවය නියෝජනය කරමින් මේ සඳහා සහභාගි වී ඇත.

මෙවර මළල ක්‍රීඩා තරගාවලිය සදහා පළාත් නවයම නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 760ක් (ක්‍රීඩකයින් 409ක් සහ ක්‍රීඩිකාවන් 351ක්) තරඟ වැදීමට නියමිත ය.

තරඟාවලියේ සමාරම්භක අවස්ථාව සනිටුහන් කරමින්, ‘ක්‍රීඩා ගිනි සිළුව’ දැල්වූයේ බස්නාහිර පළාතේ ඊ.එම්.එල්. ප්‍රියංකර සහ එම්.ඒ.එස්. ශිවන්ති ජයතිලක යන ක්‍රීඩක ක්‍රීඩකාවන් දෙදෙනායි.

ජාතික හා ජාත්‍යන්තර තරඟවල දී මල්ලවපොර සහ ජූඩෝ ක්‍රීඩාවල දස්කම් දක්වා ඇති ප්‍රියංකර ක්‍රීඩකයා, ජාතික ක්‍රීඩා තරඟාවලි පහක දී ක්‍රීඩා ඉසව් දෙකෙන්ම විශිෂ්ටතම ක්‍රීඩකයා බවට පත් වී ඇත.

එමෙන්ම, ශිවන්ති ජයතිලක ක්‍රීඩිකාව, ජාතික ක්‍රීඩා තරගාවලියේ මීටර් 100 සහ මීටර් 200 කෙටි දුර ධාවන ඉසව්වෙන් ජයග්‍රහණ අත්පත් කර ගත් ක්‍රීඩිකාවකි.

සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් නියෝජනය කරමින් කේ.ඒ.කේ. ලක්රාණි පෙරේරා ක්‍රීඩිකාව විසින් ක්‍රීඩක දිවුරුම දුන්නේය. 

වසර ගණනාවක් මුළුල්ලේ ජාතික මට්ටමේ ක්‍රියාකාරී ක්‍රීඩිකාවක වූ ඇය, රිටි පැනීමේ පැවති ජාතික වාර්තාවට ද හිමිකම් කියයි.

දින තුනක් පුරා පැවැත්වෙන ජාතික ක්‍රීඩා තරඟාවලියේ සමාප්තිය අගෝස්තු 26 දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

මෙම අවස්ථාවට ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක, ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් කේ.මහේසන්, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂේමාල් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු සම්භාවනීය ආරාධිතයෝ බොහෝ පිරිසක් සහභාගී වී සිටියහ.