Thursday, October 24, 2024
Follow Us
රණවිරු දරුවන් සඳහා රුපියල් මිලියන 1.2ක ශිෂ්‍යත්ව පිරිනමයි

රණවිරු සේවා අධිකාරිය විසින් පසුගිය අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගයෙන් ‘ඒ’ සාමාර්ථ 9ක් ලබාගත් රණවිරු පවුල්වල දරුවන් දස දෙනෙකු සදහා අ.පො.ස (උසස් පෙළ) අධ්‍යාපනය සාර්ථක කරගැනීමට අත්වැලක් වශයෙන්  වසර දෙකක කාලයක් සඳහා රුපියල් මිලියන 1.2ක් පිරිනමන ලදි.

රණවිරු සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරල් නන්දන සේනාධීර (විශ්‍රාමික) ගේ අදහසකට අනුව  ඊයේ  ( 23) කොළඹ 3 කොල්ලුපිටියේ පිහිටි රණවිරු සේවා අධිකාරි කාර්යාලයේදී සංවිධානය කරන ලද ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න මහතා  සහභාගී විය.

ඒ අනුව සෑම සිසුවෙකුට ම මාසිකව රු. 5,000.00 බැගින් වසර දෙකක කාලයක් සඳහා ශිෂ්‍යත්ව හිමි විය.

මෙම ශිෂ්‍යත්ව සඳහා අනුග්‍රහය දක්වන්නේ එක්සත් රාජධානියේ සර්ව  වාර්ගික ප්‍රජාව විසිනි. එක්සත් රාජධානියේ වෙසෙන සිංහල, දෙමළ සහ මුස්ලිම් ප්‍රජාවන්ගෙන් සමන්විත මෙම සංවිධානය තවත් ශිෂ්‍යත්ව 90ක් කඩිනමින් පිරිනැමීමට අදහස් කරයි.

රටට වැඩදායි පුරවැසියන් වී රටේ සංවර්ධනයට කටයුතු කරන ලෙස ශිෂ්‍යත්වලාභී දරුවන්ගෙන් ජෙනරල් ගුණරත්න මහතා මෙහිදී  ඉල්ලා සිටියේය.

රණවිරු සේවා අධිකාරියෙහි උදාර සේවය අගය කළ ආරක්‍ෂක ලේකම්වරයා, රණවිරු පවුල්වල දරුවන්ට උපකාර කිරීම සඳහා ඉදිරිපත් වූ  අනුග්‍රාහකයන් දැක්වූ කාරුණිකත්වය පිළිබඳව සිය ස්තුතිය පල කළේය.

අලුතින් හඳුන්වා දුන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහනට රණවිරු සේවා අධිකාරියෙහි වත්මන් සභාපතිවරයාගේ මුලපිරීමෙන් මේ වන විට රුපියල් මිලියන 8.2 ක් ප්‍රදානය කර ඇත.