Thursday, October 24, 2024
Follow Us
මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද

ඇසළ පෙරහර මංගල්‍යයේ දෙවන කුඹල් පෙරහර අද (22) රාත්‍රී වීදි සංචාරය කරන අතර රාත්‍රී 07 පසුවී මිනිත්තු 05ට යෙදෙන සුබ මොහොතින් දකුණු දිශාභිමුඛව පිටත්වන පෙරහර දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ රජ වීදියෙන් ඉහළට ගෙවැදීම සිදුවේ.

කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්‍යයේ සමාරම්භය සනිටුහන් කරමින් පළමු කුඹල් පෙරහර වීදි සංචාරය ඊයේ (21) ආරම්භ විය.

ශ්‍රී දළදා මාලිගාවේ පළමු දින කුඹල් පෙරහර නාථ, විෂ්ණු, කතරගම හා පත්තිනි යන සිව් මහා දේවාල පෙරහර සමගින් විදි සාංචාරයට එක්වී දළදා වීදිය, ඩී.එස්.සේනානායක විදිය, පන්සල පාර, දේව විදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ විදිය ඔස්සේ ගමන් කොට යළි ශ්‍රී දළදා මාලිගාව වෙත ගෙවැදීම ඊයේ සිදුවිය.
ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියට අයත් ඉන්දිරාජා ඇතු විසින් සධාතුක පෙරහර කරඩුව වැඩම කළ අතර දෑලේ ගමන්ගත්තේ කණ්ඩුල සහ මියන්රාජා යන අතුන්ය.
පළමු කුඹල් පෙරහර නැරඹීම මගින් ළදරුවන්ගේ වස් දොස් දුරුවන බවට පවතින මතය හේතුවෙන් මෙම පෙරහර නැරඹීම සඳහා දරුවන් විශාල පිරිසක් සහභාගීකරවීම දක්නට ලැබුණි.

කොරෝනා වසංගතය හා ආර්ථික අර්බුදයෙන් පසු වසර කිහිපයකට පසුව අපහසුවකින් තොරව මෙවර පෙරහර නැරඹීමට අවස්ථාව හිමිව ඇත. මේ හේතුවෙන් පෙරහර මංගල්‍ය නැරඹීම සඳහා විශාල පිරිසක් ද එක්ව සිටියහ.